01.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ මෙම ජීවිතය දේවී දේවතාවන්ගේ ජීවිතයටත් වඩා උසස් ජීවිතයක්. මේ අවස්ථාවේදී පමණයි ඔබ මෙම නාටකයේ නිර්මාණයත් එහි නිර්මාණකරුවාත් ගැන හොඳින් තේරුම් ගන්නේ. එමඟින් තමයි ඔබ දේවවාදීන් බවට පත්වන්නේ.

ප්‍රශ්නය:
මෙම නාටක චක්‍රයේ වෙන කිසිම අවස්ථාවක දැකිය නොහැකි සංගම් යුගයේදී පමණක්, මෙම දෙවියන්ගේ පවුලෙහි පමණක් දැකිය හැකි විශේෂත්වය කුමක්ද?

පිළිතුර:
මේ අවස්ථාවේ දී පරමාත්ම දෙවියන් පියා බවට පත්වී ඔබ දරුවන් බලා ගනී. ඔහු ඔබගේ ගුරුවරයා බවට පත්වී ඔබට උගන්වනවා. ඔහු ඔබගේ සත්ගුරු බවට පත්වී ඔබ ලස්සන මල් බවට පත්කර ඔහුත් සමඟම ඔබව රැගෙන යනවා. සත් යුගයේ එම දිව්‍ය පවුල තිබෙනවා වුවත් මෙවැනි දෙවියන්ගේ පවුලක් නොමැත. ඔබ දරුවන් දැන් අසීමිත සන්යාසීවරුන් වනවා සේම රාජයෝගීන් ද වේ. ඔබ, රාජධානියක් සඳහා ඉගෙන ගන්නවා.

ඕම් ශාන්ති.
මෙය පාසලක්, ඒ කියන්නේ මෙය ඉගෙන ගන්නා තැනක් (පාඨශාලා). මෙම පාසල තිබෙන්නේ කාටද? මෙම පාසල තිබෙන්නේ ජීවාත්මයන්ටයි. ශරීරයක් නොමැතිව ජීවාත්මයකට ඉගෙන ගැනීමට බැරි බව ඔබට තේරෙනවා. මෙය ජීවාත්මයන් සඳහා වූ පාසලක් බව කියන විට ඔබ තේරුම් ගත යුතුයි ජීවාත්මයට ශරීරයක් නොමැතිව කිසිම දෙයක් තේරුම් ගත නොහැකි බව. මෙය මනුෂ්‍ය ජීවයන් සඳහා වූ පාසලක් ලෙසත් හඳුන්වනවා. නමුත් සියලුම පාසල් තිබෙන්නේ මනුෂ්‍යයන්ට තමයි. එමනිසා තමයි බාබා කියන්නේ මෙය උත්තරීතර ජීවාත්මය විසින් ජීවාත්මයන් හට උගන්වන පාසලක් කියලා. අනෙක් අයට භෞතික අධ්‍යාපනයක් තිබෙනවා. නමුත්, මෙය ඒ අසීමිත පියා විසින් ඔබට උගන්වනු ලබන ආධ්‍යාත්මික අධ්‍යාපනයයි. ඉතින්, ඒ කියන්නේ මෙය පරමාත්ම දෙවියන්ගේ, පරම පියාගේ විශ්ව විද්‍යාලයයි. දෙවියන්ගේ වදන් තිබේ. මෙය භක්ති මාර්ගය නොවේ; මෙය ඉගෙනුමකි. පාසලක කොහොමත් අධ්‍යාපනයක් ලබා දෙනවා. වන්දනාමාන ආදිය සිදුවන්නේ දේවාල ආදියෙහියි. මෙහිදී ඔබට උගන්වන්නේ කවුද? දෙවියන් කතා කරනවා. වෙන කිසිම පාසලක පරමාත්ම දෙවියන් ඔහු විසින්ම කතා කරන්නේ නැහැ. මෙය තමයි දෙවියන් විසින්ම කතා කරන එකම ස්ථානය. දෙවියන්, ඒ උසස්ම තැනැත්තා පමණක් දැනුම් සාගරය ලෙස හඳුන්වනවා. ඔහුට පමණයි ඔබ හට දැනුම දිය හැක්කේ. අනෙක් සියල්ලක්ම භක්තියයි. බාබා කියා දී තිබෙනවා කිසිම කෙනෙක් එම මාර්ගයේ යාමෙන් ගැලවීමක් ලබන්නේ නැති බව. උත්තරීතර පියා හට පමණයි පැමිණ මෙම රාජයෝග දැනුම මඟින් ගැලවීම ලබාදිය හැක්කේ. ජීවාත්මයන් ඔවුන්ගේ ශරීර මඟින් මෙම දැනුමට සවන් දෙනවා. ’දෙවියන් ඔහු විසින්ම කතා කරයි‘ යන වැකිය වෙන කිසිම අධ්‍යාපනයක දැකිය නොහැකියි. භාරතයේ පමණයි ශිව බාබාගේ උපන් දින උත්සවය සමරන්නේ. පරමාත්ම දෙවියන් අශරීරිකයි. ඉතින්, ඔවුන් ශිවාගේ උපන් දිනය සමරන්නේ කෙසේද ? උපන් දිනයක් සමරන්නේ ජීවාත්මයක් ශරීරයකට ඇතුළු වූ විටයි. බාබා කියනවා : මම කිසිම විටෙක ගර්භාෂයකට ඇතුළුවන්නේ නැහැ. ඔබ සියලුම දෙනා ගර්භාෂයකට ඇතුල් වෙමින් උපත් 84ක් ගන්නවා. ලක්ෂ්මී හා නාරායන තමයි වැඩිම උපත් සංඛ්‍යාවක් ලබා ගන්නේ. එසේ උපත් 84ක් ලබා ගැනීමෙන් මොහුත් නිකම් ගැමි කොල්ලෙක් වැනි තත්ත්වයට පත්වෙලා. ඔබ ලක්ෂ්මී හා නාරායන කිව්වත් රාධේ ක්‍රිෂ්ණා කිව්වත් ඒ දෙකම එකයි. රාධේ හා ක්‍රිෂ්ණා කියන්නේ ලක්ෂ්මී හා නාරායන පුංචි කාලයේ දී ඔවුන්ට කියන ලද නම්. ඔවුන් උපත ලබා ගත් විට ඔවුන් ඉන්නේ දිව්‍යලෝකය ලෙස ඔබ හඳුන්වන සත් යුගයේයි. මොහු (ක්‍රිෂ්ණා) තමයි පළවනම උපත ලබන්නේ. පසුව ඔහුම උපත් 84ක් ගත් විට බ්‍රහ්මා බවට පත් වෙනවා. ඔහු ලස්සනින් අවලස්සන වී නැවතත් ලස්සන වෙනවා. ක්‍රිෂ්ණා සැමගෙන්ම ආදරය ලබන කෙනෙක්. ක්‍රිෂ්ණාගේ උපත සිදුවන්නේ නව ලෝකයේදීයි. ඉන්පසු, ඔහු මෙම පරණ ලෝකයට පැමිණි විට නැවත නැවතත් උපත් ලබා ගැනීමෙන් අවලස්සන වෙනවා. මෙම නාටකය සිදුවන්නේ මේ ආකාරයටයි. භාරතය පටන් ගැනීමේ දී නම්, ඉතා ලස්සන පිරිසිඳු ස්ථානයක්. නමුත් දැන් එය කැත වී අපිරිසිඳු වෙලා. බාබා කියනවා : ඔබ සියලුම ජීවාත්මයන් මගේ දරුවන්. මෙම රාගය නැමති ගින්න මත හිඳ ගැනීම නිසා සියලුම දරුවන් දැන් අපිරිසිඳු වෙලා. දැන් මම ඇවිත් ඉන්නේ ඔබ සියලුම දෙනා නිවසට රැගෙන යාමටයි. මෙම ලෝක චක්‍රය තැනී ඇත්තේ මේ ආකාරයටයි. ඒ ලස්සන මල් වත්ත දැන් කටු සහිත කැළයක් බවට පත්වෙලා. බාබා විස්තර කරනවා : දරුවනි, ඔබ ඉතාමත් ලස්සන ලෝක පාලකයන් ලෙසටයි සිටියේ. ඔබ දැන් නැවතත් එම තත්ත්වයට පත්වීමටයි යන්නේ. ලක්ෂ්මී සහ නාරායන තමයි මෙම ලෝකයේ පාලකයන් ලෙස සිටියේ. නමුත් උපත් 84ක් ගැනීම නිසා මේ තත්ත්වය තමයි දැන් ඔවුන්ට අත් වී තිබෙන්නේ. එම ජීවාත්මයන්මයි දැන් මේ ඉගෙන ගන්නේ. ඔබ දන්නවා සත් යුගයේ දී නම් ඔබ අප්‍රමාණ වූ සතුටක් අත්විඳිනා බවත් එමනිසා, එහිදී ඔබට බාබා සිහි කිරීමේ අවශ්‍යතාවයක් නැති බවත්. දුක තිබෙන විට තමයි සැමටම දෙවියන් මතක් වෙන්නේ කියා කතාවක් තියෙනවා. ඉතින්, ඔවුන් එසේ සිහි කරන්නේ කවුද? ඔවුන් සිහි කරන්නේ පරමාත්ම පියාවයි. බොහෝ දෙනෙක් සිහි කිරීම අනවශ්‍ය දෙයක්. භක්ති මාර්ගයේ නම් ඔවුන් බොහෝ දෙනෙක් සිහි කරනවා. නමුත් ඒ කිසිම දෙයක් ඔවුන්ට තේරෙන්නේ නැහැ. ක්‍රිෂ්ණා පැමිණියේ කවදාද? ඔහු කවුද? ඔවුන් කිසිම දෙයක් දන්නේ නැහැ. ඔවුන් ක්‍රිෂ්ණාගේ හා නාරායනගේ වෙනසවත් දන්නේ නැහැ. ශිව බාබා තමයි උසස්ම කෙනා. ඉන්පසු, බ්‍රහ්මා, විශ්ණු හා ශංකර් ඔවුන් හඳුන්වන්නේ සූක්ෂම දේවතාවන් ලෙසයි. මිනිසුන්, සියලුම දෙනා දෙවියන් ලෙස සළකනවා. ඔවුන් කියනවා දෙවියන් සෑම තැනකම සිටිනවා කියලා. බාබා කියනවා : මායාගේ පව් පහ තමයි සෑම තැනකම තිබෙන්නේ, එම පව් සියලුම දෙනා තුළටම පැමිණෙනවා. සත් යුගයේ නම් කිසිම පාපයක් නැහැ. විමුක්ති දේශයේත් ජීවාත්මයන් ඉතා පිරිසිඳු ලෙස සිටිනවා. එහි අපිරිසිඳුතාවය ගැන කිසිඳු ප්‍රශ්නයක් නැහැ. බාබා, ඒ නිර්මාණකරුවා පැමිණ ඔහු විසින්ම ඔහුව හඳුන්වා දෙනවා. ඔහු මෙම ලෝකයේ මුලත්, මැදත්, අගත් පිළිබඳ සියලුම රහස් ඔබට කියනවා. ඉතින් මේ ආකාරයට තමයි ඔබ දේවවාදීන් බවට පත්වන්නේ. ඔබගේ ජීවිතය ඇත්තෙන්ම දේවතාවන්ගේ ජීවිතයටත් වඩා උසස් ජීවිතයක්. ’මනුෂ්‍ය ජීවිතය තමයි උසස්ම ජීවිතය‘ කියා කියමනක් ද තිබෙනවා. සංගම් යුගයේ මෙම කාලය තමයි ඔබගේ ජීවිතයේ දියමන්තියක් මෙන් වූ වටිනාම කාලය ලෙස හැඳින්විය හැක්කේ. ඔබගේ මෙම වර්තමාන ජීවිතය දියමන්තියක් සේ වටිනා ජීවිතයක්. ලක්ෂ්මී හා නාරායනගේ ජීවිත දියමන්ති සේ වටිනා ජීවිත කියා කියන්න බැහැ. ඔබ දෙවියන්ගේ දරුවන් වුවත් ඔවුන් දේවී දේවතාවන්ගේ දරුවන්. ඔහු දැනුමේ සාගරය නිසා තමයි ඔබට රාජයෝගා උගන්වන්නේ. මෙම එකම එක වතාවේ සංගම් යුගයේදී පමණයි ඔබට මෙම දැනුම ලබාගත හැක්කේ. මෙය තමයි සියලුම මනුෂ්‍යයන්ගෙන් උසස්ම මිනිසුන් බවට පත්වීමේ යුගය. නමුත් ලෝකයේ කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. සියලු දෙනාටම අවිද්‍යාව නම් වූ කුම්භකරණා නින්දේ නින්ද ගොසින්. දරුවනි, දැන් සියලුම දෙනා විනාශයට ලක්වීමට යන නිසා තමයි ඔබ කිසිම කෙනෙක් සමඟ කිසිම සම්බන්ධකමක් තබාගත නොයුත්තේ. ඔබගේ ඉරණම තීරණය වන්නේ ඔබගේ අවසාන සිතිවිල්ල මතයි. ඔබ අවසාන මොහොතේ දී ශිව බාබාගේ ස්මරණයෙන් සිටියහොත් ඔබට නාරායනගේ පවුලේ අයෙක් බවට පත්විය හැකියි. ඔබ ඒ උත්තරීතර පියා හැර වෙනයම් කෙනෙක් සිහි කළහොත් උපතක් උපතක් පාසා සාමාන්‍ය පවුලක තමයි ඉපදීම සිදුවන්නේ. මේ ඉනිමගෙහි පින්තූරය ඉතාමත් හොඳයි. එහි ලියා තිබෙනවා, අපි දිව්‍ය තත්ත්වයේ සිට රණ ශුද්‍රයින්ගේ තත්ත්වයට ආදී ලෙස පත් වුණයි කියලා. මේ අවස්ථාවේ මෙය රාවන්ගේ රාජ්‍යයයි. ඔබ ඔබගේ ආදී සනාතන දේවී දේවතා ධර්මය අමතක කොට වෙනයම් ආගම් වලට ගොදුරු වූවා. මේ මුළු ලෝකයම ලංකා භූමිය ලෙස හැඳින්විය හැකියි; රත්රන් ලංකාවක් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. බාබා කියනවා : ඔබ ඔබව අපකීර්තියට ලක්කරගෙන තිබෙන තරමට වඩා මා අපකීර්තියට ලක් කරනවා. ඔබ කියනවා, මිලියන 8.4ක උපත් සංඛ්‍යාවක් ඔබ විසින් ලබා ගන්නවා කියලා. නමුත් මා ගැන කියනවා, සෑම කොටසකම මමත් ඉන්නවා කියලා. කොහොමනමුත්, මා අපකීර්තියට ලක්කරන අය පවා මම ඔසවා ගන්නවා. බාබා කියනවා : මෙය ඔබේ වැරැද්දක් නොවේ; මෙය නාටකයේ තිබෙන දෙයක්. මෙය සත් යුගයේ මුල සිට කලි යුගයේ අවසානය දක්වාම සිදුවන දෙයක්. එය නැවතත් කැරකිය යුතු දෙයක්. බාබා හැර වෙන කිසිම කෙනෙකුට මෙය තේරුම් කර දිය නොහැකියි. ඔබ සියලුම දෙනා බ්‍රහ්ම කුමරුන් හා බ්‍රහ්ම කුමාරීන්. ඔබ බ්‍රහමින්වරුන් දෙවියන්ගේ දරුවන්. ඔබ දෙවියන්ගේ පවුල තුළ ඉඳගෙන සිටී. සත් යුගයේ දී තිබෙන්නේ දිව්‍යමය පවුලක්. ඔබ දැන් ඉන්නේ දෙවියන්ගේ පවුලේ නිසා බාබා ඔබ ගැන බලාගන්නවා. ඔහු ඔබට උගන්වනවා. ඔහු ඔබ නිවස කරා ගෙන යාමට පෙර ඔබව ලස්සන මල් බවට පත් කරවනවා. එක්තරා ග්‍රන්ථයක ලියා තිබෙනවා (සීඛ් ආගමේ ආගම් ග්‍රන්ථයක්), දෙවියන්ට මනුෂ්‍යයන් දේවතාවන් බවට වෙනස් කිරීමට එතරම් කල් ගතවන්නේ නැහැ කියා. එමනිසා තමයි දෙවියන් හඳුන්වන්නේ මැජික්කරුවා කියලා; මෙම නිරය දිව්‍යලෝකයක් බවට පත් කිරීම ඇත්තෙන්ම මැජික් එකක් තමයි. දිව්‍යලෝකය නිරය බවට පත්වීම සඳහා උපත් 84ක් ගත වෙනවා. ඉන්පසු මෙම නිරය සැනෙකින් දිව්‍යලෝකයක් බවට පත්වෙනවා. ජීවන මුක්තිය සඳහා ගතවන්නේ එක් ක්ෂණයක් පමණයි. ’මම ආලෝක ජීවයක්.‘ ඔබ ජීවාත්මයක් බව හඳුනාගන්න, එවිට ඔබට පියාවත් හඳුනාගත හැකියි. වෙන කිසිම මනුෂ්‍යයෙක් ජීවාත්මයක් යනු කුමක්ද කියා දන්නේ නැහැ. ගුරූන් කෙතරම් සංඛ්‍යාවක් සිටියත් එකම එක සත්ගුරූ කෙනෙක් පමණක් සිටියි. “සත්ගුරූ කියන්නේ අමරණීය කෙනාය” කියා කියනවා. ඒ උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය පමණයි නියම සත්ගුරූ වෙන්නේ. කෙතරම් ගණන් කළ නොහැකි තරම් ගුරූන් සිටියත් ඔවුන් පාපයෙන් තොර අය නොවේ. සන්යාසීන් පවා උපත් ලබාගත යුත්තේ පවින්. දැන් නව රාජ්‍යයක් නිර්මාණය වීමටයි යන්නේ. ඔබ සියලුම දෙනා මෙහි ඉගෙන ගන්නේ එම රාජ්‍යය ලබා ගැනීමටයි. ඔබ සියලුම දේ අත්හරින ලද රාජයෝගීන්. අනෙක් අය හතා යෝගා පුහුණු කළත් ඔවුන්ගේ තිබෙන්නේ සීමිත අත්හැරීමක් පමණයි. බාබා සියලුම දෙනාට ගැලවීම ලබා දී ඔවුන් සතුටු කරවනවා. ඔහු තමයි අමරණීය සත්ගුරූ ලෙස හඳුන්වන්නේ. එහිදී ඔබ නැවත නැවතත් ශරීර ගනිමින් එය අත්හැර දමන්නේ නැහැ. එහිදී මරණය එන්නේ නැහැ. ඔබගේ ජිවාත්මය සදාකාලිකයි. නමුත්, ඔබ පිරිසිඳු බවින් අපිරිසිඳු තත්ත්වයට පත්වෙනවා. ඔබගේ ජිවාත්මය ශරීරයේ ක්‍රියා වලින් නිදහස් වෙන්නේ නැහැ. බාබා හට පමණයි නාටකයේ මෙම රහස් ඔබට කිව හැක්කේ. ඒ නිර්මාණකරුවාට පමණයි ඔහුගේ නිර්මාණයේ මුලත් මැදත් අගත් ගැන කිව හැක්කේ. බාබා පමණයි දැනුමේ සාගරය වන්නේ. ඔහුට පමණයි සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් ඔබ දිව්‍ය තත්ත්වයට පත්කර ඔටුණු යුගලයක් ඔබට පැළඳවිය හැක්කේ. ඔබගේ ජීවිතය බෙලි කටු සේ නොවටිනා වූ ජීවිතයක් මෙන් තිබුණේ. නමුත් දැන් ඔබ දියමන්තියක් තරම් වටිනා වූ තැනැත්තන් බවට පත්වීමටයි යන්නේ. බාබා, ’හම් සෝ, සෝ හම්‘ (මා සිටි තත්ත්වයටම නැවතත් පත්වෙනවා) යන මන්ත්‍රයෙහි තේරුමත් ඔබට විස්තර කර දී තිබෙනවා. කොහොමනමුත්, ඔවුන් කියනවා, ජීවාත්මය කියන්නේ උත්තරීතර ජීවාත්මය, උත්තරීතර ජීවාත්මය කියන්නේ ජීවාත්මය කියලා. මේ ආකාරයට තමයි ඔවුන් ’හම් සෝ, සෝ හම්‘ යන්නෙහි තේරුම පැහැදිලි කරන්නේ. බාබා කියනවා : කොහොමද උත්තරීතර ජීවාත්මය නිකම්ම ජීවාත්මයක් ලෙස හඳුන්වන්නේ ? බාබා ඔබට විස්තර කරනවා : මේ අවස්ථාවේ දී ඔබ සියලුම දෙනා බ්‍රහමින් දරුවන්. ඒ බ්‍රහමින් දරුවන් දැන් දිව්‍ය තත්ත්වයට පත් වෙනවා. ඉන්පසුව ඔබ රණ ශුද්‍රයින් බවටත් පසුව වෙළෙඳුන් බවටත් පසුව ක්‍ෂුද්‍රයින් බවටත් පත් වී අවසානයේ දී නැවතත් බ්‍රහමින් බවටම පත්වෙනවා. ඔබගේ උපත තමයි උසස්ම උපත. මෙය දෙවියන්ගේ නිවහනයි. ඔබ කාත් සමගද ඉඳගෙන ඉන්නේ ? ඔබ ඉඳගෙන ඉන්නේ ඔබගේ මවත් පියාත් සමගයි. ඔබ සියලුම දෙනා සහෝදර සහෝදරියන්. බාබා උගන්වන්නේ ඔබගේ ජීවාත්මයටයි. ඔබ සියලුම දෙනා මගේ දරුවන් නිසා ඔබ සියලුම දෙනාට ඔබගේ උරුමය සඳහා අයිතියක් තිබෙනවා. මේ නිසා තමයි ඒ උත්තරීතර ජීවාත්මය, බාබා ගෙන් ඔබට උරුමය ලබාගත හැක්කේ. තරුණ, මහළු සියලුම දෙනාට ඔවුන්ගේ උරුමය සඳහා අයිතියක් තිබෙනවා. දරුවනි, මේ නිසා තමයි මම කියන්නේ ඔබ ජීවාත්මයක් ලෙස සළකා මා සිහි කරන්න, එවිට ඔබගේ සියලුම පව් කපා දැමිය හැකියි කියලා. නමුත් මිනිසුන් භක්ති මාර්ගයේ නොයෙකුත් මාර්ග අනුගමනය කළත් ඔවුන් හට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

රාත්‍රී පංතිය

දරුවනි, පියාව හඳුනාගන්න. පියා ඔබට උගන්වන බව මෙන්ම ඔබගේ අසීමිත උරුමය ඔබට හිමි වන්නේ ඔහුගෙන් බවත් ඔබට වැටහෙන නමුත්, අපහසුතාවය වන්නේ මායා ඔබට අමතක කරවීමයි. ඇය, දරුවන් බියට පත්වන එක් හෝ තව බාධකයක් ඇති කරයි. එයින්ද පළමුවන අංකයේ මායාව වන්නේ පාපයට වැටීමය. ඔබගේ ඇස් ඔබව මුලා කරයි. එය ඔබගේ ඇස් උගුල්ලා දැමීම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. පියා ඔබට දැනුමේ ඇස ලබා දෙයි. ඥානය සහ අඥානය අතර යුද්ධයක් ඇත. පියා ඥානය වන අතර මායා අඥානයයි. මෙම යුද්ධය ඉතා බලවත්ය. කෙනෙක් වැටෙන විට ඔහුට එය වැටහෙන්නේවත් නැත. නමුත් ඉන්පසුව ඔහු වැටී ඇති බව සහ තමන්ට විශාල පාඩුවක් සිදුකර ඇති බව ඔහුට අවබෝධ වෙයි. මායා ඔබව වරක් පරාජය කළ විට, ඔබට නැගිටීමට බොහෝ සේ අපහසු වෙයි. ඔවුන් ධ්‍යානයට යන බව බොහෝ දරුවන් කියන නමුත්, මායා එහිදීද බලපෑම් අති කරයි. ඔවුන් එය දන්නේවත් නැත. මායා නිසා ඔවුන් සොරකම් කරයි, එමෙන්ම බොරු කියයි. මායා නිසා කෙනෙක් නොකරන්නේ මොනවාද? අහන්නවත් එපා! ඇය කෙනෙක්ව කිලිටි කරයි. මල් බවට පත්වන අතරතුර, ඔබ කිලිටි වෙයි. එක් පියා පමණයි ඔබට උත්සාහ කිරීමට දිරිගන්වන්නේ. නමුත් එය සමහරෙකුගේ භාග්‍යයේ නොමැති නම්, ඔවුන්ට උත්සාහ දැරීමට නොහැකිය. මෙහිදී, කිසි කෙනෙකුට විශේෂ සැලකිල්ලක් කිරීමට නොහැකි වන අතර, ඔවුන් වෙනුවෙන් අතිරේක පංති පැවැත්වීමට ද නොහැක. වෙනත් ඉගෙනුම් වලදී, අතිරේක පංති පැවැත්වීමට ගුරුවරයෙක්ව විශේෂයෙන් කැඳවයි. මෙහිදී, ඔබගේ භාග්‍යය තමන්ටම නිර්මාණය කර ගැනීම සඳහා, ඔබ සෑම කෙනෙකුටම එකම ප්‍රමාණයකට උගන්වනු ලබයි. කොයි තරම් දුරට එක් එක් කෙනාට, වෙන වෙනම ඉගැන්වීමට හැකි වෙයිද? බොහෝ දරුවන් සිටිති. වෙනත් ඉගෙනුම් වලදී, සමහරුන් වැදගත් මිනිසුන්ගේ දරුවන් බැවින්, එමෙන්ම ඔවුන්ට බොහෝ මුදල් වියදම් කිරීමට හැකි බැවින්, ඔවුන්ට අතිරේක පංති ලබා දෙයි. කෙනෙකුට නුවණ නොමැති විට එය ගුරුවරයා දන්නා බැවින් ඔහු එම කෙනාට ශිෂ්‍යත්වයක් හිමි කරගැනීමට සුදුසු කරවීම සඳහා උගන්වයි. මෙම පියා එසේ නොකරයි. පියා සෑම කෙනෙකුටම එකම ප්‍රමාණයට උගන්වයි. වෙනත් ගුරුවරු ඔබට අතිරේක උත්සාහයක් දැරීමට දිරි ගන්වයි. මෙම කෙනා කිසි කෙනෙක් ලවා අතිරේක උත්සාහයක් නොකරවයි. කෙනෙකුට අතිරේක උත්සාහයක් දැරීමට දිරි ගන්වනවා යනු, ඔහුට ඒ සඳහා ගෙවීමක් ලැබුණත්, ගුරුවරයාට අනුකම්පාවත් තිබෙනවා යනුය. ඔහු විශේෂයෙන් කාලය වැයකොට ශිෂ්‍යයින්ට උගන්වයි. මන්ද, වැඩිපුර ඉගෙන ගැනීමෙන් ඔවුන්ට දක්ෂ වීමට හැකිවන නිසා. මෙහිදී, වැඩිපුර ඉගෙන ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. මෙම කෙනා සෑම කෙනෙකුටම එකම දේ කියයි. ඔහු ’මන්මනභව්‘ යන එක් මහා මන්ත්‍රය පමණක් ලබා දෙයි. සිහිපත් කිරීම තුළින් සිදුවන්නේ කුමක්ද කියා ඔය දරුවන්ට වැටහෙනවා. පියා පමණයි පාරිශුද්ධකරුවා වන්නේ, එමෙන්ම ඔහුව සිහිපත් කිරීමෙන් ඔබ පිවිතුරු වන බව ඔබ දන්නවා. අච්චා. සුබ රාත්‍රියක්.

ධාරණය සඳහා සාරාංශය:
1. මුළු ලොවම දැන් සොහොන් පිටියක් වීමටයි යන්නේ. විනාශය අත ළඟය. එබැවින් කිසිම කෙනෙක් සමඟ සම්බන්ධතාවයන් තබා නොගන්න. අවසන් මොහොතේ දී එක් පියාව පමණක් සිහිපත් කරන්න.

2. මෙය අවලස්සන බවින් ලස්සන වීමට සහ අපවිත්‍ර බවින් පිවිතුරු වීමට ඇති සංගම් යුගයයි. වඩාත්ම උසස් මනුෂ්‍යයින් වීමේ කාලය මෙයයි. සෑම විටෙකම මෙම අවධානය තබාගෙන, තමන්ව බෙලි කටුවකින් දියමන්තියක් බවට පත් කරගන්න.

වරදානය:
ඔබ දැනුමේ ධනය තුළින් කෝටිපතියෙක් වී, පදාර්ථයන්ගේ සියලු පහසුකම් අත්කර ගනිත්වා.

දැනුමේ ධනය, ඔබට භෞතික ධනය හිමි කර ගැනීමට ඉබේටම මග පාදයි. දැනුමේ ධනය ඇති තැන, පදාර්ථ ඔබගේ සේවකයා බවට ඉබේටම පත් වෙයි. ඔබට දැනුමේ ධනය තිබෙන විට, පදාර්ථයන්ගේ සියලු පහසුකම් ඔබට ඉබේටම ලැබෙයි. එබැවින් දැනුමේ ධනය, සියලු ධනයන්ගේ රජුය. රජතුමා සිටින තැනක, ඔහුට ඉබේටම සියලු දේපළ හිමි වෙයි. ඔබව කෝටිපතියෙක් බවට පත් කරවන්නේ මෙම දැනුම නමැති ධනයයි. එය ඔබගේ සියලු නෑ සම්බන්ධතා තුළින් ඉබේටම ඔප්පු වෙයි. දැනුමේ ධනය තුළ කෙතරම් බලයක් තිබේද යත් එය ඔබව අනේක උපත් ගණනාවකට රජවරුන්ගෙත් රජෙක් බවට පත් කරවයි.

පාඨය:
“මා සෑම කල්පයකදීම ජය ලබනවා”: මෙම ආධ්‍යාත්මික කුල්මත් බව ඉස්මතු කරගන්න එවිට ඔබ මායා ජයගත්තෙක් වෙයි.