07.04.24    Avyakt Bapdada      Sinhala Murli     01.03.99    Om Shanti    Madhuban


සැබෑ හෝලිය යනු සම්පූර්ණයෙන් පිවිතුරු වී සංස්කාර සුසංයෝග කිරීමය.


අද, බාප්දාදා සෑම තැනකම සිටින ඔහුගේ පුජනියම සහ ශ්‍රේෂ්ඨතම දරුවන්ව දකිනවා. ඔය දරුවන්ට වඩා උතුම් හෝ ශ්‍රේෂ්ඨ ජීවාත්මයක් මේ ලෝකයේ සිටිනවාද? ඔබ උසස්ම-උසස් පියාගේ දරුවන්. මුළු චක්‍රය වටාම ගොස් ඊට වඩා උසස් තත්ත්වයක් ඇති කෙනෙක්ව ඔබට සොයා ගත හැකිද කියා බලන්න. ඔබ පාලකයන්ව සිටින විට, ඔබට වඩා ශ්‍රේෂ්ඨ රාජධානියක් ඇති කිසිවෙක් සිටිනවාද? ඔබව කෙතරම් ප්‍රමාණයකට වන්දනා කෙරෙනවාද, ප්‍රශංසාවට ලක් වෙනවාද අතින් බලන විට, ඒ තරමට සහ නිවැරදි අන්දමට වන්දනා කෙරෙන වෙන කෙනෙක් සිටිනවාද? නාටකයේ ආශ්චර්යමත් රහස වන්නේ, ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්ම, ඔබගේ ජීවමාන ස්වරූප වලදි, මෙකල, දැනුමේ පදනමට අනුව, ඔබගේ වන්දනීය ස්වරූප පිළිබදව දන්නා අතර ඔබට එහි අවධානයද තිබේ. එක් පසෙකින් ඔය ජීවමාන ජීවාත්ම සිටින අතර අනෙක් පසින් ඔබගේ වන්දනීය ස්වරූපයන්ගේ අජීව ප්‍රතිමා තිබේ. ඔබට ඔබගේ වන්දනීය ස්වරූප දැක ගැනීමට පුළුවන් නේද? ඔබ, ඔබගේ අජීවී වන්දනීය ස්වරූප වලින් සහ ඔබගේ ජීවමාන ස්වරූප යන මේ දෙයාකාරයෙන්ම පවතිනවා. මෙය බොහෝ ආශචර්යමත් නාටකයකි! ඔබගේ රාජධානිය අතින්, මුළු කල්පය පුරාම ඔබට ඇති රාජධානිය බාධක වලින් නිදහස්ය. එතරම් අචල සහ නොසැලෙන රාජධානියක් තිබෙන්නේ ඔය ජීවාත්මයන්ට පමණයි. බොහෝ දෙනෙක් රජවරු වෙයි, නමුත් වඩාත්ම ශ්‍රේෂ්ඨ වන්නේ ලෝකයේ අධිරාජවරු වන ඔබ සහ ලෝක අධිරාජවරුන්ගේ රාජකීය පවුලයි. එබැවින් රාජධානියේ ශ්‍රේෂ්ඨතම වන්නේ ඔබ වන අතර ඔබගේ වන්දනීය ස්වරූපයෙන්ද වඩාත්ම ශ්‍රේෂ්ඨ වන්නේ ඔබයි. දැන් සංගම යුගයෙදි පරමාත්ම දෙවියන් විසින් ලබා දෙන ඔබගේ උරුමයට ඔබට අයිතියක් තිබේ; ඔබට දෙවියන් සමග හමුවක් සැමරීමට අයිතියක් තිබේ, එමෙන්ම පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස ලැබීමට ඔබට අයිතියක් තිබේ. වෙනත් කිසිවෙක් දෙවියන්ගේ පවුලේ ජීවාත්මයක් වෙනවාද? මෙය වන්නේ ඔබ පමණයි, එහෙම නේද? ඔබ මෙය වෙලාද, නැත්නම් එය වීමට තිබේද? ඔබ දැන් මෙය බවට පත් වී ඇත. ඔබ දැන් ඔබගේ උරුමය හිමි කරගනිමින් පරිපූර්ණ වන අතර පරම පියා සමග නිවසට පෙරළා යාමට ඉතා ආසන්නව සිටියි. සංගම යුගයේ සතුට, සංගම යුගයේ ප්‍රාප්තීන් සහ සංගම යුග කාලය ඉතාමත්ම සුන්දරයි, එහෙම නේද? ඒවා බොහෝ සේ ආදරණීයයි. මෙම සංගම යුගයේ ඔබගේ කාලය, ඔබගේ පාලන කාලයට වඩා ආදරණීයයි, එහෙම නේද? මෙය වඩාත් සුන්දරද, නැත්නම් ඔබට විගසින් එහි යාමට අවශ්‍යද? එසේ නම් විනාශය සිදු වන්නේ කවදාද කියා ඔබ බාබාගෙන් විමසන්නේ ඇයි? ඔබ තවමත් සිතමින් සිටින්නේ විනාශය සිදු වීමට යන්නේ කවදාද, එවිට කුමක් සිදු වෙයිද සහ ඔබ ඒ වෙලාවේ කොහේ සිටියිද කියාය. බාප්දාදා පවසන්නේ: ඔබ කොහේ සිටියත් ඔබ බාබාගේ ස්මරණයේ සිටින්නේ නම්, ඔබ පියා සමග සිටියි. ඔබ, ඔබගේ භෞතික ස්වරූපයෙන් පියා සමග සිටියත්, ඔබගේ සූක්ෂම ස්වරූපයෙන් පියා සමග සිටියත්, ඔබට කිසිවක් සිදු නොවෙයි. සකාර් බාබාගේ දවස්වල කතා පුවතක් ගැන ඔබට කියා තිබෙනවා නේද? ඔබට කතාව මතකද? උදුනේ සිටි විට බළල් පැටවුන්ට සිදු වුනේ කුමක්ද? ඔවුන් ආරක්ෂිතව සිටියා නේද? නැත්නම් ඔවුන් පිළිස්සී ගියාද? ඔවුන් සියලු දෙනාම ආරක්ෂිත විය. එබැවින්, ඔය දරුවන් පියා සමග සිටින විට, ඔබ ආරක්ෂිතව රැදී සිටියි. ඔබගේ බුද්ධිය වෙනත් තැනක නියැලී ඇත්නම් ඔබ එහි බලපෑමට හසුවෙයි; ඔබ එක් හෝ වෙනත් බලපෑමකට හසුවෙයි. කෙසේවෙතත්, ඔබ පියා සමග ඒකාබද්ධව සිටින විට, ඔබට තත්පරයක්වත් තනිව සිටිය නොහැක, ඔබ ආරක්ෂිතව සිටියි. විටෙක ඔබ වැඩෙහි යෙදී සිටින විට ඔබ තනිව සිටින බව සලකයි. ඔබ පවසන්නේ, “ මා කුමක් කරන්නද? මා ඉන්නේ තනිවයි! මට කිරීමට බොහෝ වැඩ තිබේ!” ඔබ විඩාවට පත් වෙයි. එසේ නම් ඔබ පියාව ඔබගේ සහකරු කර නොගන්නේ මන්ද? ඔබට අවශ්‍ය, අත් දෙකක් ඇති කෙනෙක්ව ඔබගේ සහකරු කරගැනීමටයි. ඔබ අත් දහසක් ඇති කෙනාව ඔබගේ සහකරු කර නොගන්නේ ඇයි? ඔබට වැඩි සහයෝගයක් ලබා දිය හැක්කේ කාටද: අත් දහසක් ඇති ඒකායන කෙනාද, අත් දෙකක් ඇති කෙනෙක්ද?

සංගම යුගයේ බ්‍රහ්ම කුමර කුමරියන්ට තනි විය නොහැක. සිදුවන්නේ ඔබ සේවය කිරීමේ සහ කර්ම යෝගා කිරීමේ කෙතරම් කාර්යබහුල වන්නේද යත්, ඔබට බාබාගේ ඇසුර ලබා ගැනීමට අමතක වෙයි, එබැවින් ඔබ විඩාපත් වෙයි. ඉන්පසුව ඔබ විඩාවට පත් වූ විට, ඔබට බාබාව සිහි වී, ඔබ මෙසේ විමසයි: “ මා දැන් කුමක් කරන්නද?” විඩාපත් නොවන්න! බාප්දාදා පැමිණ ඇත්තේ ඔබ අවදි වන විට, නැගිටින විට, ක්‍රියා සිදු කරන විට, සේවය කරන විට සහ ඔබ නින්දට යන විට ඔහුගේ නිරන්තර ඇසුර ඔබට ලබා දීමටයි. බ්‍රහ්ම පියා අව්‍යක්ත වුනේ ඔබ සියලු දෙනාට සහයෝගය ලබා දීමටයි. අව්‍යක්ත ස්වරූපයේ සහයෝගයේ වේගය, භෞතික ස්වරූපයට වඩා බොහෝ සේ වේගවත්ය. බ්‍රහ්ම පියා ඔහුගේ වාසස්ථානය වෙනස් කළේ මේ නිසයි. ශිව පියා සහ බ්‍රහ්ම පියා යන දෙදෙනාම නිරන්තරයෙන් ඔවුන්ගේ සහයෝගය ඔබට ලබා දීමට සුදානමින් සිටිනවා. ඔබ බාබාව සිහිකළ සැනින් ඔබට ඔහුගේ සහයෝගයේ අත්දැකීම ලැබෙයි. කෙසේවෙතත්, ඔබ සෑම විටම සිහි කරන්නේ සේවය, සේවය සහ වැඩියෙන් සේවයම පමණයි. ඔබ පියාව පසෙකට දමා, ඔහුට එහි සිට සෑම දෙයක්ම නරඹන්නට සලස්වයි. එබැවින් පරම පියා නොබැදි නරඹන්නෙක් ලෙසින් සෑම දෙයක් දෙසම බලා සිටිමින්, ඔබට කෙතරම් දුරට සෑම දෙයක්ම තනිව කළ හැකිද කියා බලා සිටියි. කෙසේවෙතත්, ඔබ කොහොමත් ආපසු මෙහි පැමිණිය යුතුයි, එබැවින් බාබාගේ ඇසුර අත්නොහරින්න. ඔබගේ දකුණත ලෙස සහ ඔබගේ සියුම් සෙනෙහස් රැහැනින් බාබාව ඔබට බැද තබා ගන්න. මෙම රැහැන ටිකක් බුරුල් වන නිසා, ඔබගේ සෙනෙහස ටිකක් අඩු වී, ඔබගේ අයිතීන් ඔබ අවධානයෙන් ඉවත් කරගනී. මෙය තවත් නොකරන්න! සර්ව බලධාරී ඔහුගේ ඇසුර ඔබට පුද කරනවා. ඔබට එවන් ඇරයුමක් ඉතිරි කල්පය පුරාවටම කිසිදාක ලැබෙනවාද? ඔබට ලැබෙන්නේ නැහැ නේද? එබැවින් ඔබට කෙතරම් දුරට සෑම දෙයක්ම තනිව කිරීමට හැකිද කියා, බාප්දාදා නොබැදි නරඹන්නා විලසින් දිගටම බලා සිටියි.

එබැවින් ඔබගේ සංගම යුගයේ සතුට සහ භාග්‍යය ඉස්මතු කර තබා ගන්න. ඔබ කාර්යබහුල නිසා, ඔබගේ බුද්ධිය වෙනත් තැන්වල කාර්යබහුලව තිබෙයි, එමෙන්ම ඒ ගැන ඔබගේ අවධානයද යටපත් වෙයි. මෙය සලකා බලන්න: ඔබ දවස පුරාම පරම පියාව සිහි කරනවාද, නැත්නම් ඔබට ඔහුව අමතක වෙනවාද කියා ඔබගෙන් විමසන්නේ නම්, ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද? නැහැ! ඔබ ඔහුව සිහි කරන බව පැවසීම නිවැරදියි. කෙසේවෙතත්, ඔහුගේ ස්මරණය ඉස්මතු වෙනවාද, නැත්නම් එය යටපත් වී තිබෙනවාද? ඔබගේ ස්ථිතිය කෙබදුද? ඔබගේ ස්ථිතිය ඉස්මතු වූ අවධානයේ එකක්ද, යටපත් වූ අවධානයද? දෙක අතර වෙනස කුමක්ද? එබැවින් ඔබගේ ස්මරණය, ඉස්මතු වූ අවධානයේ එකක් නොවන්නේ ඇයි? ඔබගේ ස්මරණය ඉස්මතුව තිබෙන විට, ඔබට ලැබෙන කුල්මත් බව, බලය, සහයෝගය සහ සාර්ථකත්වය බොහෝ ශ්‍රේෂ්ඨයි. බාබාව සිහිකිරීමට අමතක වීම, ඔබට කළ නොහැකි දෙයක් විය යුතුයි, මන්ද, ඔහු සමග ඔබගේ සම්බන්ධතාවය, මෙම එක උපතක එකක් පමණක් නොවෙයි. ශිව බාබා ස්වර්ණමය යුගයේ ඔබ සමග නොමැති වුවද, ඔබට එම සබදතාවයම තිබෙනවා නේද? එබැවින් ඔබට පියාව අමතක කිරීමට නොහැකි වීම, නිවැරදියි. ඔව්, ඇතැම් විටෙක ඔබ යම් බාධකයක බලපෑමට හසුවී පියාව අමතක වීම සැබවින්ම සිදුවිය හැක. කෙසේවෙතත්, ඔබ, ඔබගේ ස්වාභාවික ස්ථිතියේ සිටින විට ඔබ බාබාව අමතක නොකරයි, නමුත් ඔබගේ ස්මරණය යටපත් වෙයි. මේ නිසයි, ඔබ බාබාගේ ඇසුර අත්විදින්නේ, යටපත් වුනු ස්වරූපයකින්ද, ඉස්මතුවූ ස්වරූපයකින්ද කියා ඔබට නැවත නැවතත් තමන්ව පරීක්ෂා කිරීමට කියා බාප්දාදා පවසන්නේ. ඔබ තුළ බාබා කෙරෙහි සෙනෙහස තිබේ. ඔබගේ සෙනෙහස බිද දැමිය හැකිද? ඔවුද, නැද්ද? එය බිද දැමිය නොහැක, එහෙම නේද? එබැවින්, ඔබගේ සෙනෙහස බිද දැමිය නොහැකි නිසා, එම සෙනෙහසේ ප්‍රයෝජනය ලබා ගන්න. මෙම ප්‍රයෝජනය ගන්න ආකාරය ඉගෙන ගන්න.

ඔබව පියාට අයත් කර තිබෙන්නේ මෙම සෙනෙහස බව, බාප්දාදා දකිනවා. ඔබව මධුබන්වල නිවැසියන් බවට පත් කරන්නේ මෙම සෙනෙහසයි. ඔබගේ ස්ථානයේ සිදුවීම් කුමක් වුනත්, ඔබ එහිදි කෙතරම් උත්සාහ දැරුවත්, ඔබ ඒ තිබියදී මධුබන් වලට පැමිණෙයි. කලියුගයේ තත්ත්වය නිසා බොහෝ දරුවන්ට ටිකට් පතක් මිල දී ගැනීමට ඉතා අපහසු බව, බාප්දාදා දන්නවා, එමෙන්ම ඔහුට එය පෙනෙයි. කෙසේවෙතත්, ඔවුන්ගේ සෙනෙහස, ඔවුන්ට මෙහි පැමිණීමට මග පාදයි. එය එහෙමයි නේද? ඔබ මෙහි ළගා වන්නේ, බාබා කෙරෙහි ඔබ තුළ ඇති සෙනෙහස නිසයි, නමුත් මෙම තත්ත්වයන් දිනෙන් දින දිගටම වැඩි වෙයි. අවංක හදවතක් සමග ස්වාමී සතුටු වනවා, නමුත් ඔබට එක් හෝ තව තැනකින් විවිධ ස්වරූප වලින් භෞතික සහයෝගයද ලැබෙනවා. ඔබ ද්විත්ව විදේශිකයන් වුනත්, භාරතයේ වාසය කළත්, බාබා කෙරෙහි ඔබ තුළ ඇති සෙනෙහස, ඔබට ඕනෑම අවස්ථාවකදි, බාධකය තරණය කර යාමට මග පාදයි. එය මෙහෙමයි නේද? තමන්ගේම මධ්‍යස්ථානය දෙස බලන්න, එවිට ඔබට එවන් දරුවන් දැකිය හැක. ඔවුන් මෙහි සිට පිටව යන්නේ ඔවුන්ට ලබන වසරේ පැමිණීමට හැකි වෙයිද, නැද්ද කියා සිතමින්ය. ඔවුන්ට ලබන වසරේ පැමිණීමට හැකි වෙයිද, නැද්ද කියා සැක සිතෙන නමුත්, ඔවුන් මෙහි පැමිණෙනවා. ඔවුන්ගේ සෙනෙහසේ සහතිකය මෙයයි. අච්චා.

අද ඔබ හෝලි සැමරුවා. ඔබ හෝලි සැමරුවාද? හෝලි සමරන පූජනීය හංසයින්ව බාප්දාදාට පෙනෙයි. ඔය සියලුම දරුවන්ට තිබෙන්නේ එකම නම්බු නාමයයි, “ වඩාත්ම පූජනීය”. තඹ යුගයේ සිට, කිසිම ධර්මාත්මයක් හෝ ශ්‍රේෂ්ඨ ආත්මයක්, අන් සියලු දෙනාව පූජනීයම අය බවට පත් කර නැත. ඔවුන් පූජනීය වන නමුත් ඔවුන්ගේ අනුගාමිකයන්ව හෝ ඔවුන්ගේ සහකරුවන්ව පූජනීයම හෝ පිවිතුරු අය බවට ඔවුන් පත් නොකරයි, නමුත් මෙහි ඔබගේ බ්‍රහ්මින් දිවියේ ප්‍රධාන පදනම වන්නේ පාරිශුද්ධත්වයයි. ඔබගේ ඉගෙනුම කුමක්ද? ඔබගේ පාඨය වන්නේ: පිවිතුරු වන්න, යෝගී වන්න! ඔබට මෙම පාඨය තිබෙනවා නේද? ඔබගේ ශ්‍රේෂ්ඨත්වය, පාරිශුද්ධත්වයයි. ඔබගේ යෝගී දිවියේ අත්තිවාරම, පාරිශුද්ධත්වයයි. ඇතැම් විට, දරුවන් ගමන් කරන අතර ඔබගේ මනසේ යම් අපවිත්‍ර බවක් ඔබ අත්විදින්නේ නම්, ඔබට අන් අය ගැන නිෂ්ඵල හෝ ඍණාත්මක සිතිවිලි ඇති වන්නේ නම්, එවිට ඔබට බලවත් යෝගාවේ සිටීමට කෙතරම් අවශ්‍ය වුනත්, ඔබට එය කිරීමට නොහැකි වෙයි. ඔබගේ සිතිවිලි වල අපවිත්‍රතාවයේ සුළුම සලකුණක් පවා තිබුණොත්, එවිට දහවලට සහ රාත්‍රියට එකට සිටීමට නොහැකි සේම, එම අපවිත්‍රතාවය නිසා, ඔබට පිවිතුරු පියාගේ නියම ආකාරයෙන්, ඔහු කුමක්ද, කියා, ඔබට සිහි කිරීමට නොහැකි වෙයි. මේ නිසයි බාප්දාදා වත්මන් කාලයේ ඔබගේ අවධානය පාරිශුද්ධත්වය කෙරෙහි නැවත නැවතත් යොමු කරවන්නේ. මීට සුඵ කාලයකට පෙර තෙක්ම, බාප්දාදා ඔබට සංඥා කළේ ක්‍රියා තුළින් පාරිශුද්ධ වීමට පමණයි. කෙසේවෙතත්, දැන් අවසාන කාලය වඩාත් ලංවත්ම, සිතිවිලි වල අපවිත්‍ර බවේ සුළු සලකුණක් පවා ඔබව මුලා කරයි. එබැවින් සෑම දේකම පිවිතුරු බව සම්පූර්ණයෙන් අවශ්‍යයි: ඔබගේ සිතිවිලි, වචන, ක්‍රියා සහ නෑ සම්බන්ධතා වලදි. ඔබගේ සිතිවිලි නොපෙනෙන නිසා, ඔබගේ මනස මේ පිළිබදව නොසැලකිලිමත් නොවිය යුතුයි. ඔබගේ සිතිවිලි වලට ඔබව බොහෝ මුලාවට පත් කළ හැක. බ්‍රහ්මින් දිවියේ අභ්‍යන්තර උරුමය වන, නිරන්තරයෙන් සතුටේ සහ සාමයේ ප්‍රතිරුවක් වීම සහ ඔබගේ මනසින් තෘප්තිය අත්විදීම සදහා, ඔබගේ මනසේ පාරිශුද්ධත්වය තිබීම අවශ්‍යයි. බාහිර පහසුකම් වලින් හෝ සේවය කිරීමෙන් තමන්ව සතුටු කිරීම යනු තමාව මුලා කිරීමයි.

තමන් ඉතා හොද බව හා සතුටින් සිටින බව සලකා, දරුවන් මෙම පදනමින් විටෙක තමන්ව මුලා කර ගන්න බව බාප්දාදා දකිනවා. ඔවුන් නොකඩවා තමන්ව මුලා කරගනියි. මෙයත් ගැඹුරු රහසක්. බාබා පිරිනමන්නා වන අතර ඔබ පිරිනමන්නාගේ දරුවන්ය. විටෙක ඔබගේ සේවය යුක්තියුක්ත නොවන අතර එය මිශ්‍රයි: ඉන් ඇතැම්වා, සිහිපත් කිරීම තුළින් ඉටුවන අතර තව සමහරක් ඉටු වන්නේ, ඔබගේ බාහිර පහසුකම් සහ ඔබගේ සතුටේ පදනමින්ය; එය ඔබගේ හදවතින් නොව ඔබගේ හිසින්ය. එවිට, පියා පිරිනමන්නා බැවින්, ඔබගේ සේවයේ ප්‍රායෝගික ඵලයද ඔබට හිමි වෙයි. ඔබ බොහෝ සතුටු වී, ඔබගේ සේවය ඉතා හොදින් සිදු කළ නිසා, එහි ඵලය ලැබී ඇති බව ඔබ සිතයි. කෙසේවෙතත්, ඔබ එම සතුට සෑම විටම අත්විදින්නේ නැහැ. ඔබගේ මනසට තෘප්තිය විදීමට නොහැකි වන අතර ඔබගේ ස්ථිතියට බලවත්ව යෝග්යුක්තව රැදී සිටීමටද නොහැකි වෙයි. ඔබ තමන්ට මෙම අත්දැකීම අහිමි කරවයි. ඔබට කිසිම දෙයක් නොලැබෙනවා නොවෙයි. ඔබට අනිවාර්යෙන් එක හෝ තව දෙයක් ලැබෙයි, නමුත් ඔබට කිසිවක් රැස් කර ගැනීමට නොහැක. ඔබ උපයා ගන්නා කුමක් වුනත් ඔබ කා දමා අවසන් කරයි. ඔබ මෙයට අවධානය යොමු කළ යුත්තේ මේ නිසයි. ඔබ ඉතා හොදින් සේවය කරයි, එබැවින් ඔබට ඒ වෙනුවෙන් ඉතා හොද ඵල ලැබෙයි. කෙසේවෙතත්, ඔබ එය නිකම්ම කා දමා සියල්ල අවසන් කරන්නේ නම්, ඔබ රැස් කර ගන්නේ කුමක්ද? ඔබ ඉතා හොදින් සේවය කර හොද ප්‍රතිඵලයක් ලබයි, නමුත් ඔබ කරන සේවයෙන් ඔබ කිසිම ඵලයක් රැස් කරගන්නේ නැහැ. රැස් කරගන්නා ක්‍රමය වන්නේ ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියා තුළ පාරිශුද්ධත්වය තිබීමය. ඔබගේ අත්තිවාරම පාරිශුද්ධත්වයයි. සේවයේ අත්තිවාරමත් පාරිශුද්ධත්වයයි. එය පිරිසිදු සහ පිවිතුරු විය යුතුයි. එය තුළ වෙනත් කිසිදු චේතනාවක් නොතිබිය යුතුයි. ඔබගේ චේතනා සහ හැගීම් තුළ පාරිශුද්ධත්වය තිබිය යුතුයි. හෝලි යනු පාරිශුද්ධත්වය සහ සියලු අපවිත්‍රතා පුළුස්සා දැමීමයි. මේ නිසයි හෝලි උත්සවයෙදි මිනිසුන් පළමුව පුළුස්සා, ඉන්පසුව සමරන්නේ. ඔබ පිවිතුරු වී, ඔබගේ සංස්කාර සුසංයෝග කිරීම සමරයි. හෝලි යනු පිළිස්සීම සහ සැමරීමයි. බාහිර ලෝකයේ මිනිසුන් මුණගැසෙන විට ඔවුන් එකිනෙකාව වැළද ගන්නා අතර මෙහිදි ඔබ සුබ හමුවක් පවත්වා ඔබගේ සංස්කාර සුසංයෝග කරයි. එසේ නම්, ඔබ මේ අන්දමින් හෝලි සැමරුවාද? එසේ නැත්නම් ඔබ නිකම්ම නටමින් රෝස වතුර ඉසිමින් සිටියාද? එය හොදයි. ඔබට අවශ්‍ය තරම් සමරන්න. ඔබට අවශ්‍ය තරම් රෝස වතුර ඉසිනවා දැක බාප්දාදා සතුටු වනවා. ඔබට නටන්නටත් පුළුවන්, නමුත් නිරන්තරයෙන් නටන්න. විනාඩි 5ක් 10ක් පමණක් නටන්න එපා. එකිනෙකා මත ගුණධර්ම වල කම්පන තරංග විහිදුවා හැරීම යනු රෝස වතුර ඉසීමය. ඔබ පුළුස්සා දැමිය යුත්තේ කුමක්ද කියා ඔබ දන්නවා. ඔබ මෙය නොකඩවා පුළුස්සන අතර ඔබ දැන් පවා එය පුළුස්සා දමනවා. ඔබට අධිෂ්ඨානගත සිතිවිල්ලක් ඇති බව පැවසීමට ඔබ සෑම වසරකම ඔබගේ අත් ඔසවයි. අඩු තරමින් ඔබ එඩිතරව සිටීනවා දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. එබැවින් ඔබගේ එඩිතරකමට බාප්දාදා ඔබට සුබ පතනවා. එඩිතරව රැදී සිටීම ප්‍රථම පිවරයි. කෙසේවෙතත්, බාප්දාදාගේ පිවිතුරු ආශාව කුමක්ද? දිනය දෙස නොබලන්න. එය සිදු වීමට යන්නේ 2000, 2001 හෝ 2005 ද කියා සිතමින් නොසිටින්න. හොදයි, ඔබ නිති සුදානම් වී නොමැති විය හැක. බාප්දාදා ඔබට මෙයට අවසර දෙනවා, නමුත් ඔබට එම සංස්කාර දීර්ඝ කාලයකට අවශ්‍ය වන බව ඔබ මතකයේ තබා ගත යුතුයි, එහෙම නේද? මේ ගැන කතා කරන විට ඔබ පවසන්නේ, දීර්ඝ කාලයක් පුරා ඔබ දරන උත්සාහය, ඔබ හිමි කරගන්න රාජධානිය දීර්ඝ කාලයක් පැවතීමට මග පාදන බවයි. ඔබ සිදු කරන අධිෂ්ඨානගත ක්‍රියා, දීර්ඝ කාලයක් පවතිනවාද, නැත්නම් ඒවා තාවකාලිකද? ඔබ ඒවා දමන්නේ කුමන තීරයටද? එය තාවකාලික කාලයකට වෙයි. පරම පියා අවිනාශීය, නමුත් ඔබ ඔහුගෙන් හිමි කරගන්නේ කුමන රාජධානියක්ද? තාවකාලික කාලයක එකක්. එබැවින් ඔබ මෙය ප්‍රිය කරයිද? ඔබ එය ප්‍රිය නොකරයි නේද? එබැවින් දීර්ඝ කාලයක්, කෙතරම් කාලයක් පවතිනවාද කියා කණස්සලු නොවන්න. ඔබ දීර්ඝ කාලයක් පුරා මෙය පුහුණු වන තරමට, අවසානයේ ඔබ අඩුවෙන් මුලා වෙයි. ඔබ මෙය පුහුණු නොවන්නේ නම්, ඔබ වර්ථමාන සතුට සහ දීර්ඝ කාලයක ශ්‍රේෂ්ඨ තත්ත්වය අහිමි කරගන්නවා. එබැවින් ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබ දිනයක් වෙනුවෙන් බලා සිටිනවා නම්, බලා සිටීම නතර කර, සූදානම් වීම ආරම්භ කරන්න. දීර්ඝ කාලයක් තමන්ව සූදානම් කර ගන්න. දිනය නිර්මාණය කළ යුත්තේ ඔබයි. කාලය දැන් වුනත් සිටින්නේ නිති සූදානමින්. අවශ්‍ය දේ, එයට හෙට වුවද කළ හැක. කෙසේවෙතත්, කාලය ඔබ වෙනුවෙන් බලා සිටිනවා. ඔබ සූදානම් වූ සැනින්, කාලයේ තිරය විවර වෙයි. කාලය, තවමත් ඔබ වෙනුවෙන් රැදී සිටිනවා. රාජධානියේ ඔය පාලකයන් සූදානම් නේද? සිහසුන හිස්ව නොතිබිය යුතුයි නේද? ලෝක අධිරාජයෙක් තනිව සිංහාසනයක් මත අසුන්ගෙන තනිව කුමක් කරන්නද? එය නිවැරදි බව හැගෙයිද? ඔහුට ඔහුගේ මුළු රාජකීය පවුලම සහ පුරවැසියන් අවශ්‍ය වෙයි. රාජධානියේ පාලකයාට සිංහාසනයේ තනිව අසුන්ගෙන සිටිය නොහැක. ඔහුගේ රාජකීය පවුලේ අය සිටින්නේ කොහේද කියා ඔහු සිතමින් සිටිවි. මේ නිසයි බාප්දාදාට එක පිවිතුරු ආශාවක් තිබෙන්නේ, එනම්, බ්‍රහ්ම කුමර කුමරියන් ලෙස තමන්ව හදුන්වා ගන්න ඔය සියලුම දරුවන්, අළුත් වුනත් පරණ වුනත්, මධුබන් නිවැසියන් වුනත්, භාරතයේ නිවැසියන් වුනත්, විදේශිකයන් වුනත්, ඔය සෑම දරුවෙක්ම ඔබගේ රාජධානියට අයිතිය, කෙටි කාලයකට නොවෙයි, දීර්ඝ කාලයකට හිමි කරගැනීම සදහා, දීර්ඝ කාලයක් පුරා මෙය පුහුණු විය යුතු බව. ඔබ මෙයට කැමතිද? ඔබට එක අතකින් අත්පොළසන් ගැසිය හැක. පිටුපස අසුන්ගෙන සිටින අය බොහෝ දක්ෂයි. ඔවුන් අවධානයෙන් අසා සිටිනවා. පිටුපස අසුන්ගෙන සිටින අයව, ඔවුන් පියාගේ ඉදිරියේ අසුන්ගෙන සිටිනවා මෙන් පැහැදිලිව බාප්දාදාට දැක ගත හැක. ඉදිරියේ අසුන්ගෙන සිටින අය කොහොමත් සිටින්නේ ඉදිරියේ. පහළ අසුන්ගෙන සිටින අය (භාවනා ශාලාවේ) බාබාගේ හිසේ කිරුළයි. ඔවුන්ද අත්පොළසන් ගසනවා. පහළ අසුන්ගෙන සිටින අයට ඔවුන්ගේ අත්හැරීමේ භාග්‍යය හිමි වෙයි. ඔබට බාබා ඉදිරියේ පෞද්ගලිකව බාබා සමග මුහුණට මුහුණ ලා අසුන් ගැනීමේ භාග්‍යය හිමි වී ඇති අතර ඔවුන් ඔවුන්ගේ අත්හැරීමේ භාග්‍යය රැස් කරගන්නවා. අච්චා. ඔබ සියලු දෙනාම බාප්දාදාට තිබෙන මෙම එක ආශාවට කැමතිද? එසේ නම් බාබා ලබන වසරේ කුමක් දකියිද? ලබන වසරේද ඔබගේ අත් ඔසවන බවට අධිෂ්ඨානගත සිතිවිල්ල ඔබට තිබෙනවා. ඔබගේ අත එසවිය හැක, ඔබට අත් දෙකම වුනත් එසවිය හැක, නමුත් ඔය සෑම කෙනෙක්ම ඔබගේ මනසේ අතද එසවිය යුතුයි. අධිෂ්ඨානගත සිතිවිල්ලේ අත සෑම කලටම ඔසවන්න.

සෑම කෙනෙකුගේම නලළ මත සම්පූර්ණ පාරිශුද්ධත්වයේ මැණික දිලිසෙනවා දැකීමට බාප්දාදාට අවශ්‍යයි. ඔබගේ දෑස් වල පාරිශුද්ධත්වයේ දීප්තිය ඔහුට දැකීමට අවශ්‍යයි. දෑසේ තාරකා, ආධ්‍යාත්මිකත්වයේ දීප්තියෙන් බැබලෙනවා දැකීමට ඔහුට අවශ්‍යයි. ඔබගේ මිල කළ නොහැකි වදන් වල විශේෂතාවය සහ මධුර බව ඇසීමට ඔහුට අවශ්‍යයි. ඔබගේ ක්‍රියා තුළ නිරන්තර තෘප්තිය සහ නිරහංකාරකම දැකීමට ඔහුට අවශ්‍යයි. ඔබගේ හැගීම් වල නිරන්තර සුබ පැතුම් සහ චේතනාවල නිරන්තර සහෝදරත්වයේ ආකල්පයක් තබා ගන්න. ඔබගේ හිස වටා සුරදූතයෙකුගේ ආලෝක රැස් වළල්ල නිරන්තරයෙන් දිස් විය යුතුයි. මෙය දැකීමට හැකි වීම යනු, එය අත්විදිය යුතු බවයි. බාප්දාදාට අවශ්‍ය වන්නේ එවන් සැරසූ ප්‍රතිරූ ලෙස ඔබව දැකීමටයි. වඩාත්ම ශ්‍රේෂ්ඨ සහ වන්දනීය ජීවාත්ම වන්නේ එවන් ප්‍රතිරූ පමණයි. ඒ මිනිසුන් ඔබගේ අජීව ප්‍රතිමා නිර්මාණය කරයි, නමුත් පියාට අවශ්‍ය වන්නේ ඔබගේ ජීවමාන ස්වරූපයේ ඔබ මෙය බවට පත්වනවා දැකීමටයි. අච්චා.

සෑම තැනකම සිටින සියලුම දරුවන්ට, නිරන්තරයෙන් පියා සමග සිටින සමීප සහ නිරන්තර සහකරුවන්ට, දීර්ඝ කාලයක් උත්සාහ දරා, දීර්ඝ කාලයකට සංගම යුගයේ සහ අනාගත රාජධානියේ ඔවුන්ගේ අයිතීන් හිමි කරගන්නා අයට, ගුණධර්ම සහ බල වලින් තමන්ව නිරන්තරයෙන් සරසා තබාගන්නා, එවන් නුවණැති ජීවාත්මයන්ට, පියාගේ බලාපොරොත්තුවේ පහන් වන ජීවාත්මයන්ට, පූජනීයම සහ උසස්ම ස්ථිතියේ නිරන්තරයෙන් ස්ථාවරව රැදී සිටින අයට, පරම පියාට සමාන, උපරිම ලෙස ආදරණීය ජීවාත්මයන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

දුර අසුන්ගෙන සිටින නමුත් ඔවුන් බාප්දාදා ඉදිරියේ සිටින බව අත්විදින මේ දේශයේ සහ විදෙස් රටවල සියලුම දරුවන්ට, බාප්දාදාගෙන් බොහෝ බොහෝ බොහොමයක් සෙනෙහස සහ ස්මරණය.

වරදානය:
ඔබ, කාලය ඔබගේ ගුරුවරයා කරගන්නවා වෙනුවට, පරම පියාව ඔබගේ ගුරුවරයා කරගන්නා, මාස්ටර් නිර්මාණකරුවෙක් වේවා.

සමහර දරුවන්ට සේවය කිරීමට උද්යෝගයක් තිබෙන නමුත් නිරාශාවේ ආකල්පයක් ඇති කරගැනීමට ඔවුන් අවධානය යොමු නොකරයි: ඔවුන් මේ ගැන නොසැලකිලිමත් වෙයි. “ එය හොදයි, මෙය සිදු වෙනවා... එය සිදු වෙයි... වෙලාව පැමිණි විට එය හරි යයි.” මේ ආකාරයට සිතීම යනු, කාලය ඔබගේ ගුරුවරයා කරගැනීමයි. ඒ දරුවන් පියාව සනසන්න තැත් කරයි: “ කණස්සලු නොවන්න, කාලය පැමිණි විට සෑම දෙයක්ම හරි යයි, අප එය කරන්නම්. අප ඉදිරියට ගමන් කරන්නම්.” කෙසේවෙතත්, ඔබ මාස්ටර් නිර්මාණකරුවන් වන අතර, කාලය ඔබගේ නිර්මාණයකි. ඔබගේ නිර්මාණයක් ඔබගේ ගුරුවරයා බවට පත් කරගැනීම, ඔය මාස්ටර් නිර්මාණකරුවන්ට ඔබින්නේ නැත.

පාඨය:
පරම පියාගේ පෝෂණයට ප්‍රතිඋපකාරය වන්නේ ඔබගේ සහ සියලු දෙනාගේ පරිවර්ථනයට සහයෝගශීලී වීමය.