03.07.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම අසීමිත නාටකයේ ඔබ ආශ්චර්යමත් නළුවන්ය. මෙය සදාතනික නාටකයක් වන අතර, එහි කිසිවක් වෙනස් කළ නොහැක.

ප්‍රශ්නය:
ප්‍රඥාවන්ත, දූරදර්ශී දරුවන්ට පමණක් වැටහෙන ගැඹුරු රහස් මොනවාද?

පිළිතුර:
අශාරීරික ලෝකය, සහ මුළු නාටකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ ගැඹුරු රහස් වටහා ගත හැක්කේ දූරදර්ශී දරුවන්ට පමණයි. බීජය සහ වෘක‍්ෂය පිළිබඳ මුළු දැනුමම ඔවුන්ගේ බුද්ධිය තුළ තිබේ. මෙම අසීමිත නාටකයේ සෑම ජීවාත්මයක්ම නළුවෙක් බවත්, ස්වර්ණමය යුගයේ සිට කලි යුගය දක්වා තම තමන්ගේ චරිත කොටස් රඟපෑම සඳහා, ඔවුන් වස්ත්‍ර පළඳින බවත් ඔවුන් දන්නවා. කිසිම නළුවෙකුට අතර මැදදී ආපසු නිවසට යා නොහැක.

ගීතය:
ඔබ දිවාකල කමින්, රාත්‍රිය නිදමින්ද අපතේ හැරියා.

ඕම් ශාන්ති.
ඔය දරුවන්ට ගීතය ඇසුනා. එම ගීතයේ ඇතැම් වචන නිවැරදි වන අතර ඇතැම් වචන වැරදිිය. සතුටු කල්හි කිසිවෙකු දෙවියන්ව සිහි කරන්නේ නැත. දුක නිසැකයෙන්ම පැමිණිය යුතුයි. දුක ඇති විටයි පියා පැමිණ සතුට ලබා දෙන්නේ. ඔබ දැන් සතුටෙහි දේශයට ඉගෙනගන්නා බව ඔය සුමිහිරි දරුවන් දන්නවා සාමයේ දේශය සහ සතුටෙහි දේශය. පළමුව විමුක්තිය තිබෙන අතර ඉන්පසුව ජීවන-මුක්තිය තිබේ. සාම දේශය ඔබගේ නිවහනයි එහිදී කිසිවෙකු චරිත කොටසක් රඟපාන්නේ නැත. නළුවෙක් ගෙදර ගිය විට, ඔහු එහිදී චරිතයක් රඟපාන්නේ නැහැ. චරිතයක් රඟපාන්නේ වේදිකාවක් මතය. මෙයද වේදිකාවකි. සීමිත නාටක තිබෙන සේම මෙය අසීමිත නාටකයකි. පියා හැර වෙනත් කිසිවෙකුට එහි මුල, මැද සහ අවසානය පිළිබඳ රහස් විස්තර කළ නොහැක. ඇත්ත වශයෙන්ම ’වන්දනා ගමන‘ සහ ’යුද්ධය‘ යන වචන භාවිත කරන්නේ ඔබට පැහැදිලි කරදීම සඳහා පමණයි. මෙහි යුද්ධයක් ආදිය නොමැත. ’වන්දනා ගමන‘ යන වචනය භාවිත කරන නමුත් ඇත්ත වශයෙන්ම එහි තේරුම, සිහි කිරීමය. ඔබ පිවිතුරු වන්නේ, දිගින් දිගටම සිහිපත් කිරීමේ සිටීමෙනි. මෙම වන්දනා ගමනද මෙහි අවසන් වෙයි. ඔබ කොහෙවත් යා යුතු නැහැ. ඔබ පිවිතුරු වී ඉන්පසුව ආපසු නිවහනට යා යුතු බව ඔය දරුවන්ට විස්තර කර දී තිබේ. අපවිත්‍ර අයට ආපසු නිවසට යා නොහැක. තමන් ජීවාත්ම බව සලකන්න. ජීවාත්මය වන මා, මුළු චක්‍රයටම චරිත කොටසකින් පිරී ඇත. මෙම කොටස දැන් අවසන් වේගෙනයි යන්නේ. පියා අවවාද දෙයි එය ඉතාමත්ම පහසුයි, මා සිහි කරන්න! එසේ නැත්නම් ඔබ මෙහි අසුන්ගෙන සිටියි ඔබ කොහෙවත් නොයයි. පියා පැමිණ පවසන්නේ මා සිහිපත් කරන්න, එවිට ඔබ පිවිතුරු වෙයි. යුද්ධයක් නැත. ඔබ තමන්ව තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් කළ යුතු වනවා. පරාජය කළ යුත්තේ මායාවයි. උපත් 84හි චක්‍රය අවසන් විය යුතු බව ඔය දරුවන් දන්නවා. භාරතය සතෝප්‍රධාන්ව පැවතුනා. මෙහි අනිවාර්යෙන්ම මනුෂ්‍යයන් සිටියි. පෘථීවිය වෙනස් වන්නේ නැත. ඔබ සතෝප්‍රධාන්ව සිටි බවත් ඔබ දැන් තමෝප්‍රධාන් වී ඇති බවත් නැවත වතාවක් සතෝප්‍රධාන් විය යුතු බවත් ඔබ දැන් දන්නවා. පැමිණ ඔවුන්ව පිවිතුරු කරන්න කියා මනුෂ්‍යයින් ඔහුට අඬ ගසයි. කෙසේවෙතත්, ඔහු කවුරුන්ද හෝ ඔහු පැමිණෙන්නේ කෙසේද කියා ඔවුන් නොදනී. බාබා දැන් ඔබව බොහෝ නුවණැත්තන් බවට පත් කර තිබේ. ඔබ බොහෝ සෙයින් උසස් තත්ත්වයක් හිමි කරගන්නවා. එහි සිටින දුප්පත් අය පවා, මෙහි සිටින ධනවත් අයට වඩා උසස් විය. පසුව, මහා රජවරුන් බොහොමයක් සිටි අතර බොහෝ ධනයද තිබිණි, නමුත් ඔවුන් පාපයේ ගැලුණා. එහි (දිව්‍ය ලෝකයේ) සාමාන්‍ය පුරවැසියන් ඔවුන්ට (රජවරු) වඩා බොහෝ උසස් විය. බාබා ඔබට වෙනස විස්තර කර දෙනවා. රාවනගේ සෙවණැල්ල, ජීවාත්ම මත වැටෙන විට, ඔවුන් අපවිත්‍ර වනවා. ඔවුන් අවගුණ වලින් තොර දේවතා පිළිරූ ඉදිරියේ තමන් අපවිත්‍ර බව කියමින්, ඔවුන්ට හිස නමයි. පියා මෙහි පැමිණි විට, ඔහු සැනෙකින් ඔබව ශ්‍රේෂ්ඨ කරයි එය තත්පරයක කරුණකි. පියා දැන් ඔබට දැනුමේ තෙවැනි ඇස ලබා දී තිබේ. ඔය දරුවන් දූර දර්ශී වනවා. උඩ ඉහළ අශාරීරික ලෝකයෙන් ආරම්භ වී, මූළු නාටක චක්‍රයම ඔබගේ බුද්ධියෙන් සිහි කළ හැක. ඔබ සීමිත නාට්‍යයක් නැරඹීමට ගිය විට, ඔබ දුටු සියලු දේ ඔබට විස්තර කළ හැක. ඔබට සෑම දෙයක් ගැනම කිව හැක, මන්ද ඔබගේ බුද්ධිය ඉන් පිරී ඇති බැවින්. ජීවාත්මය තමන්ව පුරවාගෙන, ඉන්පසුව එය ප්‍රකාශ කරනවා. ඒ අන්දමින්ම, මෙය අසීමිත කාරණාවකි. ඔය දරුවන් නැවත නැවතත් ඒ අන්දමින්ම සිදුවන, මෙම අසීමිත නාටකයේ මුල, මැද සහ අවසානයේ රහස් වලින් ඔබගේ බුද්ධිය පුරවා තැබිය යුතුයි. සීමිත නාටකයකින් නළුවෙක් ඉවත් කළහොත්, වෙනත් කෙනෙකුට ඔහුගේ ස්ථානය ගත හැක. කෙනෙක් රෝගී වූ විට, වෙනත් කෙනෙක් ඔහුගේ ස්ථානය ගනී. කෙසේවෙතත්, මෙම නාටකය සජීවිය මෙහි සුළු හෝ වෙනසක් විය නොහැක. ඔබ ජීවාත්ම බව ඔය දරුවන් දන්නවා. ඔබගේ විවිධ චරිත කොටස් රඟපෑම සඳහා ඔබ පළඳින වස්ත්‍ර වන්නේ ඔය සිරුරුයි. ඔබගේ නම්, ස්වරූප, දේශ, මුහුණුවර ආදි සියල්ලම දිගින් දිගටම වෙනස් වෙයි. තමන් රඟපෑ යුත්තේ කුමක්ද කියා නළුවන් දන්නවා. පියා ඔය දරුවන්ට චක්‍රයේ රහස් දිගින් දිගටම විස්තර කර දෙයි. ඔබ ස්වර්ණමය යුගයේ සිට කලි යුගයට පැමිණෙන අතර, ඉන්පසුව ඔබ ආපසු නිවසට ගොස් අළුතින් ඔබගේ කොටස් රඟපෑම සඳහා පහළට පැමිණෙයි. මේ සෑම දේකම වැඩි විස්තර කියා දීමට කල් ගත වනවා. දැනුම, බීජය තුළ තිබෙන නමුත්, එය විස්තර කිරීමට කල් ගත වනවා. බීජය සහ වෘක‍්ෂය පිළිබඳ සියලුම රහස් ඔබගේ බුද්ධිය තුළ ඇත. එයින්ද, මෙම වෘක‍්ෂයේ බීජය, උඩ ඉහළ තිබෙන බව, බොහෝ නුවණ ඇති අයට වැටහෙනවා. වෘක‍්ෂය නිර්මාණය කරන්නේ කෙසේද, එය පෝෂණය කර, පසුව විනාශ වන අන්දම ගැන ඔවුන්ට වැටහෙයි. මේ නිසයි ත්‍රිමූර්තිය පෙන්වා ඇත්තේ. පියා ලබා දෙන විස්තර කිරීම කිසිම මනුෂ්‍යයෙකුට ලබා දිය නොහැක. ඔවුන්ට එය ගැන දැන ගත හැකි වන්නේ මෙහි පැමිණි විට පමණයි. මේ නිසයි මෙහි පැමිණ වටහාගන්නා ලෙස, ඔබ සෑම කෙනෙකුටම පවසන්නේ. ඇතැම් අය ඔවුන්ගේම විශ්වාසවල බොහෝ දැඩි ලෙස එල්බ ගෙන සිටියි. එබැවින් ඔවුන් කිසි දේකට සවන් දීමට අකමැති බව කියයි. ඇතැම් අය ඔබට සවන් දෙයි, ඇතැම් අය ඔබගේ පත්‍රිකාද මිලදී ගන්නා අතර සමහරෙක් එසේ නොකරයි. ඔබගේ බුද්ධි දැන් බොහෝ පුළුල්, අසීමිත සහ දූරදර්ශී වී තිබේ. ඔබ ලෝක තුන ගැනම දනී. අශාරීරික ලෝකය වශයෙන් හැඳින්වෙන උත්තරීතර දේශය ගැන ඔබ දන්නවා. සූක‍්ෂම ලෝකයේ කිසිවක් නැත. මුළු සම්බන්ධතාවයම තිබෙන්නේ අශාරීරික ලෝකය සහ ශාරීරික ලෝකය අතරයි සූක‍්ෂම ලෝකය කෙටි කලකට දැන් පමණක් පවති. සියලුම ජීවාත්ම ඔවුන්ගේ චරිත කොටස් රඟපෑම සඳහා, එහි උඩ ඉහළ සිට මෙහි පහළට පැමිණිය යුතුයි. සියලු ආගම් වල මෙම වෘක‍්ෂය, අංකානුරූපයි. මෙම වෘක‍්ෂය, මනුෂ්‍යයින්ගේ එකකි එය සම්පූර්ණයෙන්ම නිවැරදියි. එහි ඇති කිසිම දෙයක් කලින් හෝ පසුව සිදුවිය නොහැකි සේම, ජීවාත්මයන්ට වෙනින් ස්ථානයක අසුන් ගැනීමටද නොහැක. අහසේ තරු එල්ලී තිබෙන සේම, ජීවාත්ම එහි ඉහළ බ්‍රහම් තත්ත්වයේ සිටගෙන සිටියි. දුර සිට එම තාරකා දකින විට, ඒවා කුඩාවට පෙනෙන නමුත් ඇත්ත වශයෙන් ඒවා විශාලයි. කෙසේවෙතත්, ජීවාත්ම කුඩා හෝ විශාල නොවන අතර ඒවා කිසිම විටෙක විනාශ කිරීමටද නොහැක. ඔබ ස්වර්ණමය යුගයට ගොස් පසුව කලි යුගයට පැමිණෙයි. ඔබ ස්වර්ණමය යුගයේ සිටි බවත් ඔබ දැන් කලි යුගයට පැමිණ ඇති බවත් ඔය දරුවන් දන්නවා. වටිනාකමක් ඉතිරිව නැත. මායාගේ දීප්තිය කොපමණ තිබුණා වුණත්, එය රාවනගේ ස්වර්ණමය යුගය වන අතර, අනෙක දෙවියන්ගේ ස්වර්ණමය යුගයයි. වසර හයකට හෝ හතකට පසුව, විශාල වශයෙන් ධාන්‍ය තිබෙන අන්දම ගැන මිනිසුන් දිගින් දිගටම කතා කරයි, අහන්නවත් එපා! ඔවුන්ගේ සැලසුම කුමක්ද, ඔය දරුවන්ගේ සැලසුම කුමක්ද කියා බලන්න! පියා පවසන්නේ මගේ සැලසුම වන්නේ පැරණි දේ අළුත් කරවීමයි. ඔබට ඇත්තේ එක් සැලසුමක් පමණයි. ඔබ දන්නවා ඔබ පියාගේ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබගේ උරුමය හිමි කර ගන්නා බව. බාබා ඔබට මඟ පෙන්වයි. ඔහු ඔබට ශ්‍රීමත් සහ ඔහුව සිහිකරන්නට යන උපදෙස ලබා දෙයි. ’උපදෙස‘ යන වචනය තිබේ. පියා සංස්කෘතික භාෂාවෙන් කතා කරන්නේ නැහැ. ඔහු විස්තර කරන්නේ හින්දියෙන් පමණයි. භාෂා බොහෝ තිබේ! කියන දේ අසා, ඉන්පසුව එය පරිවර්ථනය කරන පරිවර්ථකයන්ද සිටියි. බොහෝ මිනිසුන් හින්දි සහ ඉංග්‍රීසි දන්නවා ඔවුන් ඒවා හදාරනවා. කෙසේවෙතත්, තම නිවෙස් රැක බලා ගන්නා මව්වරුන් එතරම් ඉගෙන ගන්නේ නැහැ. දැන් කාලේ මිනිසුන් පිටරට ගොස් ඉංග්‍රීසි ඉගෙන ගන්නා විට, ඔවුන් ආපසු මෙහි පැමිණි පසුත් දිගටම ඉංග්‍රීසි කතා කරන අතර, ඔවුන්ට හින්දි කතා කිරීමට පවා නොහැක. ඔවුන් නිවෙස් වලට ගිය විට, මව්වරුන් සමගද ඔවුන් ඉංග්‍රීසියෙන්ම කතා කිරීමට පටන් ගනී. ඔවුන්ගේ අසරණ මව්වරුන් ඉංග්‍රීසි නොදන්නා බැවින් අවුලට පත් වෙයි. එවිට ඔවුන්ට කැඩුණු හින්දි ඉගෙන ගැනීමට සිදුවෙයි. ස්වර්ණමය යුගයේ තිබුණේ එක් රාජධානියක් සහ එක් භාෂාවක් පමණයි. එය දැන් නැවත වතාවක් ස්ථාපිත කෙරෙනවා. සෑම වසර 5000කටම වරක් ලෝක චක්‍රය බ්‍රමණය වන ආකාරය ඔබගේ බුද්ධිය තුළ තබා ගන්න. ඔබ දැන් ඒකායන පියාගේ සිහිපත් කිරීමේ සිටිය යුතුයි. ඔබට මෙහිදි බොහෝ කාලය තිබේ. උදෑසන, ස්නානය ආදිය කිරීමෙන් අනතුරුව, ඇවිදීම ආදියට යෑමෙන් ඔබට බොහෝ සේ තමන්ව විනෝදමත් කළ හැක. අප සැවොම නළුවන් වන ආකාරය ගැන ඇතුලාන්තයෙන් සිහි කරන්න, එපමණයි. ඔබට දැන් මෙම අවධානය තිබේ. බාබා අපට උපත් 84හි චක්‍රයේ රහස් කියා තිබේ. අප සතෝප්‍රධාන්ව සිටියා මෙය බොහෝ සතුටට කාරණයකි. මනුෂ්‍යයින් දිගටම එහෙ මෙහෙ ගමන් කරයි ඔවුන්ට ආදායමක් නැති අතර, එනමුදු ඔබ බොහෝ උපයා ගනී. චක්‍රය ඔබගේ බුද්ධියේ තබාගෙන, පියාවත් දිගින් දිගටම සිහිපත් කරන්න. ඔබට ආදායමක් උපයා ගැනීම සඳහා බාබා ඔබට බොහෝ හොඳ ක්‍රම පෙන්වා දෙයි. දරුවන් දැනුමේ මහා සයුර කලතන්නේ නැති විට, මායා ඔවුන්ගේ බුද්ධියට බොහෝ බාධා ඇති කරයි. මායා ඔවුන්ට කරදර කරයි. ඔබ චක්‍රය වටා ගොස් ඇති ආකාරය, ඔබ ස්වර්ණමය යුගයේ මෙපමණ උපත් ගණනක් ගත් ආකාරය සහ ඉන්පසුව දිගටම පහළට පැමිණි ආකාරය ගැන සිතා බලන්න. ඔබ දැන් නැවත වරක් සතෝප්‍රධාන් විය යුතුයි. බාබා මෙසේ කියා තිබේ මා සිහිපත් කරන්න, එවිට ඔබ සතෝප්‍රධාන් වෙයි. එහෙ මෙහෙ ඇවිදින විට සහ ගමන් කරන විට, බාබාගේ සිහිපත් කිරීම ඔබගේ බුද්ධිය තුළ තබා ගන්න, එවිට මායාගේ බාධා අවසන් වී ඔබ විශාල යහපතක් අත් විඳිනු ඇත. ජෝඩුවක් එකට මෙහි පැමිණෙන නමුත්, එක් එක් කෙනා ඇයගේ හෝ ඔහුගේ තනි උත්සාහ දරා, උසස් තත්ත්වයක් හිමි කර ගත යුතුයි. මෙහි තනිව පැමිණීමේ විශාල ප්‍රීතියක් තිබේ, මන්ද ඔබට තමන් කෙරෙහි අවධානය යොමු කිරීමට හැකි වන නිසා. ඔබත් සමග වෙනත් පුද්ගලයෙක් සිටින්නේ නම්, ඔබගේ බුද්ධිය එහෙ මෙහෙ ඇදී යනු ඇත. මෙහිදී එය ඉතාමත්ම පහසුයි. සෑම තැනකම උද්‍යාන තිබේ. ඉංජිනේරුවෙක් එය දුටුවේ නම්, මේ මේ තැන් වල පාලමක් තනන්නේ කෙසේද කියා ඔහුට සිතෙයි. ඔහු නිරතුරුවම ඔහුට කළ හැකි දේවල් ගැන සිතනු ඇත. සැලසුම් මතු වන්නේ බුද්ධිය තුළය. නිවෙස් වල අසුන් ගෙන සිටින අයගේ බුද්ධිය පවා සම්බන්ධ වී තිබිය යුත්තේ එහිය. මෙම පුරුද්ද හදාගෙන, නිරන්තරයෙන් මේ ගැන සිතන්න. ඔබ ඉගෙන ගත යුතු අතර ඔබගේ ව්‍යාපාරික කටයුතුද කරගෙන යා යුතුයි. මහළු, තරුණ, දරුවන් ආදී සියල්ලම පිවිතුරු විය යුතුයි. සෑම ජීවාත්මයකටම පියාගෙන් තම උරුමය හිමි කරගැනීමට අයිතියක් තිබේ. ඔබගේ දරුවන් තුළ ඔවුන්ගේ ළමා කාලයේදී මෙම බීජය වැපිරීම ඉතාමත්ම හොඳය. වෙනත් කිසිවෙකුට මෙම ආධ්‍යාත්මික දැනුම කියා දීමට නොහැක. පියා පැමිණි විට, ඔබට කියා දෙන ඔබගේ ආධ්‍යාත්මික දැනුම මෙයයි. වෙනත් පාසැල් වල ඔබට ලෞකික දැනුම ලැබෙන අතර, අනෙත් දැනුම වන්නේ ග්‍රන්ථ වල ඇති දැනුමයි. මෙය, දෙවියන් ඔබට උගන්වන ආධ්‍යාත්මික දැනුමයි. මේ ගැන වෙනත් කිසිවෙකු නොදනී. ජීවාත්මය පැමිණ, ඔබට උගන්වන ආධ්‍යාත්මික දැනුම යැයි මෙයට කියයි. එයට වෙනත් නමක් දිය නොහැක. පියාම පැමිණ මෙය උගන්වයි. මේවා දෙවියන්ගේ වදන්ය. පියා එක් වරක් පමණක්, මෙකල පැමිණ, අපට විස්තර කර දෙයි. මෙයට ආධ්‍යාත්මික දැනුම යැයි කියයි. ග්‍රන්ථ වල දැනුම මෙම දැනුමින් වෙනස්ය. එක් වර්ගයක දැනුම වන්නේ ලෞකික කොලිජි ආදියේ කියා දෙන දැනුම වන අතර දෙවන වර්ගය වන්නේ ග්‍රන්ථ වල ඇති ආගමික දැනුම වන අතර තෙවැනි වර්ගය වන්නේ මෙම ආධ්‍යාත්මික දැනුම බව ඔබ දන්නවා. එම දර්ශනවාද ආචාර්යවරුන් කෙතරම් ශ්‍රේෂ්ඨ වුවත්, ඔවුන්ටද තිබෙන්නේ ග්‍රන්ථ වල ඇති දේවල් පමණයි. ඔබගේ මෙම ඥානය සම්පූර්ණයෙන්ම වෙනස්ය. සියලුම ජීවාත්මයන්ගේ පියා වන ආධ්‍යාත්මික පියා පමණයි මෙම ආධ්‍යාත්මික දැනුම උගන්වන්නේ. ඔහුගේ ප්‍රශංසාව වන්නේ සාමයේ, සතුටේ ආදියේ මහා සයුරයි. ක්‍රිෂ්ණාගේ ප්‍රශංසාව, ඔහුගේ ප්‍රශංසාවෙන් සම්පූර්ණයෙන්ම වෙනස්ය. මිනිසුන් කතා කරන, ගුණධර්ම සහ දුර්වලතාවයන් තිබෙන්නේ මනුෂ්‍යයන්ටයි. පියාගේ නිවැරදි ප්‍රශංසාව ඔබ දන්නවා. ඒ මිනිසුන් එම වචන වල අරුත නොදැන නිකම්ම ගිරව් මෙන් ගායනා කරයි. ඔබට දියුණු විය හැකි අන්දම ගැන පියා ඔය දරුවන්ට අවවාද කරයි. අඛණ්ඩව උත්සාහ දරන්න, එවිට ඔබ අඛණ්ඩව ශක්තිමත් වෙයි. එවිට ඔබගේ කාර්යාලයේ ඔබ වැඩ කරන විට ඔබට දෙවියන්ගේ එම සිහි කිරීම සහ අවධානය තිබෙයි. චක්‍රයෙන් බාගයක්ම මායාගේ අවධානය තිබුණා. පියා දැන් මෙතැන අසුන් ගෙන ඔබට මෙම දේවල් නිවැරදිව විස්තර කර දෙයි. තමන් දෙස බලා, ඔබ සිටි අන්දම සහ ඔබ දැන් වී ඇත්තේ කවුරුන් බවටද කියා බලන්න. බාබා, නැවත වතාවක් අපව එම දේවතාවන් බවට පත් කරවනවා. ඔබ දරණ උත්සාහයට අනුව අංක පිළිවෙලට මෙය වැටහෙන්නේ ඔය දරුවන්ට පමණයි. ආරම්භයේදී තිබුණේ භාරතය පමණයි. පියා ඔහුගේ චරිත කොටස රඟපෑමට පැමිණෙන්නේ භාරතයේ පමණයි. ඔබ අයත් වන්නේ ආදි සනාතන දෙවි දේවතා ධර්මයටයි. ඔබ පාරිශුද්ධ විය යුතුයි. එසේ නැත්නම් ඔබ පසුව පැමිණෙනු ඇත. එවිට ඔබට කුමන සතුටක් ලැබෙයිද? ඔබ එතරම් භක්තියේ යෙදී නොමැති නම් ඔබ පැමිණෙන්නේ නැත. මේ-මේ කෙනා එතරම් දැනුම නොගන්නා බව වටහා ගත හැක. ඔබට මෙය වටහා ගැනීමට පුළුවන්. බොහෝ උත්සාහ දරණ නමුත් ඉතාම සුළු දෙනෙක් පමණක් මතු වෙයි. කෙසේවෙතත්, ඔබ වෙහෙසට පත් නොවිය යුතුයි. ඔබ උත්සාහ දැරිය යුතුමයි. උත්සාහ නොදරා ඔබට කිසිම දෙයක් ලබා ගත නොහැක. දිගින් දිගටම පුරවැසියන් නිර්මාණය වනවා. ඔබට දියුණු වීමට බාබා ක්‍රමයක් ලබා දෙනවා. ඔහු පවසන්නේ දරුවනි, ඔබට දියුණු වන්නට අවශ්‍ය නම්, උදෑසන ස්නානය කිරීමෙන් අනතුරුව, හුදකලාව ඇවිදින්නට යන්න, එසේ නැත්නම් කොහේ හෝ අසුන් ගන්න. ඇවිදීම ඔබගේ සෞඛ්‍යයට හොඳයි. ඔබට බාබාව සිහි කිරීමට හැකි වන අතර, නාටකයේ රහස් ඔබගේ බුද්ධියේ රැඳී තිබෙයි. විශාල ආදායමක් ඇත. සැබෑ ආදායම මෙයයි. ඔබ එම ආදායම උපයා අවසන් වූ විට, මෙම ආදායම ඉපයීම ගැන සිතන්න. මෙහි කිසිම දෙයක් අපහසු නැත. ඇතැම් අය ඔවුන්ගේ ජීවිත කතා ලියන ආකාරය බාබා දැක තිබේ ’අද මා මේ වෙලාවට අවදි වුණා, ඉන්පසුව මා මේ දේ කළා‘ ආදි වශයෙන්. පසුව එය කියවන කෙනෙක් ඉන් යමක් ඉගෙන ගනී කියා ඔවුන් සිතනවා. මිනිසුන් වැදගත් මිනිසුන්ගේ චරිත කතා කියවයි. ඔවුන් දරුවන් වෙනුවෙන් ලියන්නේ ඔවුන්ටද එවිට යහපත් ස්වභායක් ඇති වීම සඳහාය. ඔය දරුවන් දැන් සතෝප්‍රධාන් වීම සඳහා උත්සාහ දැරිය යුතුයි. සතෝප්‍රධාන් ලෝකයේ ඔබගේ රාජධානිය, ඔබ නැවත වතාවක් හිමි කර ගත යුතුයි. ඔබ සෑම චක්‍රයකදීම ඔබගේ රාජධානිය හිමි කරගෙන ඉන්පසුව එය නැති කරගන්නා බව ඔබ දන්නවා. මේ සෑම දෙයක්ම ඔබගේ බුද්ධිය තුළ ඇත. මෙය නව ලෝකයයි මෙය නව ධර්මය සඳහා නව දැනුමයි. එබැවින් ඔය සුමිහිරිතම දරුවන්ට කියන්නේ විගසින් උත්සාහ දරන්න! ඔබගේ ජීවිතයට සහතිකයක් නැහැ. මෙකල, මරණය ඉතාම පහසුයි. අමරණීය දේශයේ එවන් මරණ නොතිබෙයි. මෙහි කිසි දෙයක් නොකර ඉඳගෙන සිටින අතර, මිනිසුන් මියැදෙයි. මේ නිසයි ඔබ දිගින් දිගටම උත්සාහ දරා ඔබගේ ගිණුමේ රැස් කළ යුත්තේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ බුද්ධිය, දැනුම ආවර්ජනය කිරීමේ කාර්ය බහුල කරවීමේ පුරුද්ද ඇති කරගන්න. ඔබට කාලය ඇති සෑම විටෙකම තනිව අසුන් ගෙන, ඥාන සාගරය ආවර්ජනය කරන්න. පියා සිහි කර ඔබගේ සැබෑ ආදායම රැස් කරගන්න.

2. දූරදර්ශී වී, මෙම අසීමිත නාටකය නිවැරදිව වටහා ගන්න. සියලුම නළුවන්ගේ චරිත කොටස් නොබැඳි නිරීක‍්ෂකයෙක් සේ නරඹන්න.

වරදානය:
මිහිරි බවේ ආශිර්වාදයෙන් ඔබ නිරන්තරයෙන් උසස් ආත්මයක් ලෙස ඉදිරියට යත්වා.

මිහිරි බව යනු ඕනෑම කටුක පසක් මිහිරි කරන විශේෂ ගුණාංගයකි. ඕනෑම කෙනෙකුට මිහිරි දෘශ්ටි කිහිපයක් ලබා දෙන්න, මිහිරි වචන කිහිපයක් කතා කරන්න, එවිට ඔබට එම ආත්මයට තෘප්තියක් දැනෙන්නට සලස්වන්නට හැකි වනු ඇත. මිහිරි දෘශ්ටි කිහිපයක් සහ මිහිරි වචන කිහිපයක් පමණක් එම ආත්මය සඳහා ලෝකය වෙනස් කරනු ඇත. ඔබෙන් ලැබෙන මිහිරි වචන කිහිපයක් එම ආත්මය සදහටම වෙනස් වීමට උපකාරී වනු ඇත. එබැවින්, නිරන්තරයෙන් මිහිරි බවේ ආශිර්වාදය ඔබ සමඟ තබා ගන්න. නිරන්තරයෙන් මිහිරිව සිටින්න සහ සියලු දෙනාම මිහිරි කරන්න.

පාඨය:
සෑම තත්ත්වයකදීම සතුටින් සිටින්න, එවිට ඔබට සියලු රහස් වැටහෙනු ඇත.

අව්‍යක්ත සංඥාව: සිතිවිලි වල බලය රැස් කරගෙන උසස් සේවය සඳහා උපකරණයක් වන්න.

ඔබේ සියලු සිතිවිලි නිහඬ වී එකම පියා සහ ඔබ පමණක් සිටින විට; මෙම හමුවීමේ අත්දැකීම පිළිබඳ සිතිවිල්ල පමණක් ඔබ සමඟ පවතින විට, ඔබ සිතිවිලි වල බලය රැස් කර ගන්නා අතර ඔබේ යෝගාව බලවත් වේ. මේ සඳහා, මුසුව සිටීමේ සහ අසුරා ගැනීමේ බල උකහා ගන්න. දුර්වල සිතිවිල්ලකට නොව, ඔබේ සිතිවිලි වලට සම්පූර්ණ තිරිංගයක් යොදන්න. තත්පරයකට වඩා වැඩි කාලයක් ගත වුවහොත්, එයින් අදහස් වන්නේ මුසුව සිටීමේ බලය දුර්වල බවයි.