21.03.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ යෝගා බලයෙන් මුළු ලොවම පාරිශුද්ධත්වයට පත් කළ යුතුයි. යෝගා බලයෙන් මායා පරාජය කිරීමෙන් ඔබට ලෝකය ජයගත්තන් විය හැක.

ප්‍රශ්නය:
පියාගේ චරිත කොටස කුමක්ද? ඔය දරුවන් එම චරිත කොටස හඳුනාගෙන ඇත්තේ කුමන පදනමක් මතද?

පිළිතුර:
පියාගේ චරිත කොටස වන්නේ සෑම කෙනෙකුගේම දුක ඉවත් කර සතුට පිරිනැමීමයි, රාවණගේ යදම් වලින් සැවොම නිදහස් කරගැනීමයි. පියා පැමිණෙන විට භක්තියේ රාත්‍රිය අවසන් වෙයි. පියාම ඔහුගේ හැඳින්වීම මෙන්ම, ඔහුගේ දේපළවල හැඳින්වීමද ඔබට ලබා දෙයි. ඒකායන පියාව හැඳින ගැනීමෙන්, ඔබ සෑම දෙයක්ම දැන ගන්නවා.

ගීතය:
මවත් ඔබයි පියාත් ඔබයි.

ඕම් ශාන්ති.
ඔය දරුවන් ‘ඕම් ශාන්ති’ හි අරුත වටහාගෙන තිබේ. ඔය එක් එක් කෙනා ජීවාත්මයක් බවත්, මෙම ලෝක නාටකයේ ප්‍රධාන චරිත කොටස් තිබෙන්නේ ඔබට බවත් පියා විස්තර කර දී තිබේ. මෙම චරිත කොටස් තිබෙන්නේ කාටද? ජීවාත්ම, සිරුරු ගෙන, ඔවුන්ගේ චරිත කොටස් රඟ දක්වයි. එබැවින්, ඔහු ඔය දරුවන්ව දැන් ජීවාත්ම අවධානයට පත් කරවනවා. ඔබ බොහෝ කාලයක් ශරීර අවධානයෙන් සිට ඇත. දැන් තමන් ජීවාත්මයක් බව සලකා, පියා සිහිපත් කරන්න. නාටකයේ සැලසුමට අනුව අපගේ බාබා දැන් පැමිණ සිටියි. පියා පැමිණෙන්නේ රාත්‍රියේය. ඔහු පැමිණෙන්නේ කවදාද කියා කීමට, දිනයක් හෝ වෙලාවක් සටහන් වී නොමැත. භෞතික උපතක් ගන්නා අයට දිනයක් සහ වෙලාවක් තිබේ. එම ඒකායන කෙනා පාරලෞකික පියාය. ඔහු භෞතික උපතක් නොගනී. ඔවුන් ක්‍රිෂ්ණාගේ උපතට දිනය වේලාව ආදිය ලබා දෙයි. එම ඒකායන කෙනාට (ශිවාට), ඔහු දිව්‍යමය උපතක් ගන්නා බව කියයි. පියා මෙම කෙනා තුළට ඇතුළු වී, මෙය අසීමිත නාටකය බව අපට කියයි. නාටකය තුළ, චක්‍රයෙන් භාගයක් රාත්‍රියයි. මම පැමිණෙන්නේ රාත්‍රිය වන විටයි, උපරිම අන්ධකාරය ඇති විටයි. ඒ සඳහා දිනයක් හෝ වේලාවක් නොමැත. වර්තමානයේ භක්තියත් තමෝප්‍රධාන්ය. චක්‍රයෙන් භාගයක් එය අසීමිත දහවලයි. පියාම පවසන්නේ මා මෙම කෙනා තුළට ඇතුළු වී සිටියි. ගීතාවේ මෙසේ පැවසේ, ‘දෙවියන් කතා කරයි’. කෙසේවෙතත්, කිසිම මනුෂ්‍යයෙකුට දෙවියන් විය නොහැක. ක්‍රිෂ්ණාද මනුෂ්‍යයෙකි, නමුත් දිව්‍යමය ගුණධර්ම සහිතවයි. මෙය මනුෂ්‍යයින්ගේ ලෝකයයි; එය දේවතාවන්ගේ ලෝකය නොවෙයි. මෙසේ ගැයේ ‘බ්‍රහ්ම දේවතාවන්ට නමස්කාර වේවා’. ඔහු සූක‍්ෂම කලාපයේ වැසියෙකි. එහි මාංශ, අස්ථී ආදිය නොමැති බව ඔය දරුවන් දන්නවා. ආලෝකයේ සියුම් සුදු සෙවණැල්ලක් තිබේ. ජීවාත්මයන්, අශාරීරික ලෝකයේ සිටින විට, ඔවුන්ට සූක‍්ෂම සිරුරු හෝ අස්ථී සහිත සිරුරු නොමැත. කිසිම මනුෂ්‍යයෙක් මේ කිසිවක් නොදනී. පැමිණ, ඔබට මේ සියල්ල පවසන්නේ පරමාත්ම පියා පමණයි. මෙයට සවන් දෙන්නේ, අන් කිසිවෙකු නොව, ඔය බ්‍රහ්මණයින් පමණයි. බ්‍රහ්මණ වංශය පැවතිය හැක්කේ භාරතයේ පමණයි, තවද එය පැවතිය හැකි වන්නේ පරම පියා, පරමාත්ම ජීවය, ප්‍රජාපිතාගේ මාර්ගයෙන් බ්‍රහ්මණ ධර්මය ස්ථාපනය කරන විටයි. ඔහුට නිර්මාණකරු යැයි නොකිව යුතුයි. ඔහු නව නිර්මාණයක් බිහි කරන්නේ නැත; ඔහු එයට නව පණක් දෙනවා පමණයි. ඔබ ඔහුට අඬ ගසන්නේ: ‘ඕ බාබා, මෙම අපවිත්‍ර ලෝකයට පැමිණ අපව පිවිතුරු කරන්න!.’ ඔහු දැන් ඔබව පිවිතුරු කරනවා. ඔබ ඉන්පසුව යෝගා බලයෙන් මෙම ලෝකය පිවිතුරු කරනවා. මායා පරාජය කිරීමෙන් ඔබ ලෝකය ජයගන්නා අය බවට පත්වෙයි. යෝගා බලයට නිහැඬියාවේ බලය යැයි ද කියයි. ඍෂිවරුන්, මුනිවරයන් ආදීන්ටද සාමය අවශ්‍ය නමුත්, ඔවුන් සාමයේ අරුත නොදන්නේය. මෙහි, ඔබ අනිවාර්යෙන්ම චරිත කොටසක් රඟ පෑ යුතුයි. නිහඬ ලෝකය, ඔබගේ නිහැඬියාවේ සුමිහිරි නිවහනයි. නිහඬ දේශය ඔබගේ නිවස බව ඔය ජීවාත්ම දැන් දන්නවා. අප මෙහි පැමිණියේ අපගේ චරිත කොටස් රඟපෑම සඳහායි. ඔවුන් මෙසේද පියාට අඬ ගසයි : ‘ඕ පාරිශුද්ධකරුවාණෙනි, දුක නැති කරන්නා, සතුට පිරිනමන්නා, පැමිණ අපව මෙම රාවණගේ යදම් වලින් නිදහස් කරන්න!’ භක්තිය රාත්‍රිය වන අතර, දැනුම දහවලයි. රාත්‍රිය අවසන් වන විට, දැනුමට ජය ලැබෙයි. මෙය සතුට සහ දුක පිළිබඳ නාටකයකි. ඔබ ආරම්භයේදී දිව්‍යලෝකයේ සිටි බවත්, ඉන්පසුව ඔබ ක්‍රම-ක්‍රමයෙන් පහතට විත් අපායට ළඟා වුණු බවත් ඔබ දැන් දන්නවා. කලි යුගය අවසන් වන්නේ කවදාද හෝ ස්වර්ණමය යුගය ආරම්භ වන්නේ කවදාද කියා කිසිවෙකු නොදනී. පියාව හඳුනාගැනීමෙන්, ඔබට ඔහුගෙන් සෑම දෙයක්ම දැනගැනීමට ලැබෙයි. මිනිසුන් දෙවියන් සොයමින් බොහෝ සේ පය පැටලෙමින් සැරිසරයි. ඔවුන් පියාව හඳුනන්නේ නැත. ඔහු පැමිණ, ඔහුගේම හැඳින්වීම සහ ඔහුගේ දේපළවල හැඳින්වීම ලබා දුන් විටයි, ඔවුන්ට ඔහුව හැඳින ගැනීමට හැකි වන්නේ. දායාදය ලැබෙන්නේ මවගෙන් නොව, පියාගෙන්ය. මෙම කෙනාට මමා, මව යැයි ද කියන නමුත්, ඔබට ඔහුගෙන් දායාදයක් හිමි නොවෙයි. ඔබ ඔහු සිහි නොකළ යුතුයි. බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර් ද ශිවාගේ දරුවන්ය. කිසිම කෙනෙක් මෙයද නොදනී. මුළු අසීමිත ලෝකයේම නිර්මාණකරු වන්නේ ඒකායන පියා පමණයි. අන් සැවොම ඔහුගේ නිර්මාණයයි; ඔවුන් සීමිත නිර්මාණකරුවන්ය. පියා දැන් ඔය දරුවන්ට මෙසේ පවසයි : මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරුවනු ඇත. මනුෂ්‍යයින් ඔවුන්ගේ පියාව හඳුනන්නේ නැත, එබැවින් ඔවුන් සිහිපත් කරන්නේ කාවද? එබැවින් පියා පවසන්නේ : ඔවුන් සම්පූර්ණ අනාථයින් බවට පත්ව සිටියි. මෙයත් නාටකයේ නියම වී තිබේ. භක්තියේ මෙන්ම, දැනුම තුළත්, ශ්‍රේෂ්ඨතම ක්‍රියාව වන්නේ, දන් දීමයි. භක්ති මාර්ගයේදී මිනිසුන් දෙවියන්ගේ නමින් දන් දෙති, කුමක් වෙනුවෙන්ද? ඔවුන්ට අනිවාර්යෙන්ම යම් ආශාවක් තිබේ. ඔවුන් කුමන ක්‍රියාවක් සිදු කළත්, එහි ඵලය මතු භවයෙදී ලැබෙන බව ඔවුන්ට වැටහෙයි. ඔවුන්ගේ වර්තමාන උපතෙදී කුමක් සිදු කළත්, ඔවුන්ගේ ඊලඟ උපතෙදී එහි ඵලය ලැබෙයි. ඔවුන්ට එය උපතින් උපතට නොලැබෙයි; ඔවුනට ඵලය ලැබෙන්නේ එක් උපතකදී පමණයි. හොඳම ක්‍රියාව වන්නේ දන් දීමයි. දන් දෙන්නෙකුට, පූණ්‍ය ආත්මයක් යැයි කියයි. මහා දානපතියා වන්නේ භාරතය බව කියයි. භාරතයේදී මෙන්, වෙනත් දේශ වල එතරම් දන් දෙන්නේ නැත. පියාද පැමිණ ඔය දරුවන්ට දන් දෙන අතර, ඔය දරුවන් ඉන්පසුව පියාට දන් දෙති. ‘බාබා, ඔබ පැමිණි විට, අපි ඔබට සෑම දෙයක්ම දෙන්නෙමු - සිරුර, මනස සහ ධනය. අපට ඔබ හැර අන් කිසිවෙකු නැත’ යැයි කියැවෙයි. පියා පවසන්නේ : මට සිටින්නෙත් ඔය දරුවන් පමණයි. ඔබ මට දිව්‍යමය දෙවි පියාණන්, එනම්, දිව්‍යලෝකය නිර්මාණය කරන කෙනා යැයි අමතයි. මා පැමිණ, ඔබට දිව්‍යලෝකයේ ආධිපත්‍යය ලබා දෙන්නෙමි. ඔය දරුවන් මෙසේ කියමින් මට සෑම දෙයක්ම දෙයි: බාබා, මේ සෑම දෙයක්ම ඔබගෙයි. භක්ති මාර්ගයේද ඔබ මෙසේ කීවේය: බාබා, මේ සෑම දෙයක්ම අපට ලබා දී තිබෙන්නේ ඔබ විසිනි. ඉන්පසුව, එය නැති වූ විට ඔබ දුකට පත් වෙයි. එය, භක්තියේ තාවකාලික සතුටයි. පියා විස්තර කර දෙන්නේ : භක්ති මාර්ගයේදී ඔබ දන් දී පුණ්‍ය කර්ම සිදුකළේ වක්‍රාකාරවයි. ඔබ එහි ඵලය දිගින් දිගටම ලැබුවා. දැන්, මෙම වර්තමාන කාලයේදී, මා ඔබට කර්ම, විකර්ම සහ අකර්ම ගැන විස්තර කර දෙන්නෙමි. භක්ති මාර්ගයේදී ඔබ කුමන ක්‍රියාවක් සිදු කළද, එහි තාවකාලික සතුට, මගේ මාර්ගයෙන් ඔබ ලබා ගත්තේය. ලෝකයේ වෙනත් කිසිවෙකු මෙම කාරණා නොදනී. කර්ම න්‍යායේ ගැඹුරු දේ ගැන, පැමිණ, ඔබට කියන්නේ පරමාත්ම පියා පමණයි. ස්වර්ණමය යුගයෙදී කිසිවෙක් නරක ක්‍රියා සිදු කරන්නේ නැත. එහි ඇත්තේ සතුටයි, සතුටම පමණයි. මිනිසුන් දිව්‍යලෝකය ගැන සිහිකරන්නේ, සතුටෙහි දේශය ලෙසිනි. සෑම කෙනෙක්ම දැන් අසුන් ගෙන සිටින්නේ අපායේ වන අතර, ඔවුන් ඒ තිබියදී - මේ මේ කෙනා, දිව්‍යලෝකයට ගිය බව කියයි. ජීවාත්ම, ඒ තරම්ම දිව්‍යලෝකයට කැමතියි! මේ මේ කෙනා දිව්‍යලෝකයට ගිය බව කියන්නේ, ජීවාත්මයයි. කෙසේවෙතත්, ජීවාත්ම දැන් තමෝප්‍රධාන් බැවින්, දිව්‍යලෝකය හෝ අපාය යනු කුමක්ද කියා ඔවුන් නොදනී. අසීමිත පියා පවසන්නේ : ඔබ සෑම කෙනෙක්ම ඒ තරමට තමෝප්‍රධාන් වී ඇත! ඔබ නාටකය නොදනී. ලෝක චක්‍රය බ්‍රමණය වන බව ඔබට වැටහෙනවා, එබැවින් එය නිසැකයෙන්ම කිසිදු වෙනසක් නොමැතිව, ඒ අන්දමින්ම බ්‍රමණය විය යුතුය. මිනිසුන් මෙය නිකම් කියනවාට කියයි. එය දැන් සංගම යුගයයි. ප්‍රශංසාව තිබෙන්නේ මෙම එක් සංගම යුගය ගැන පමණයි. දේවතාවන්ගේ රාජධානිය, චක්‍රයෙන් භාගයක් පවති. ඉන්පසුව එම රාජධානිය අතුරුදහන් වන්නේ කොහාටද? එය යටත් කරගන්නේ කවුද? කිසිවෙක් මෙය නොදනී. පියා පවසන්නේ : එය යටත් කරගන්නේ රාවණයි. ඔවුන් ඉන්පසුව දේවතාවන් සහ යක‍්ෂයින් අතර යුද්ධයක් පෙන්වා තිබේ. පියා දැන් විස්තර කරන්නේ : රාවණගේ අවගුණ පහෙන් ඔබ පරාජය වන අතර, ඉන්පසුව ඔබ රාවණව පරාජය කරයි. ඔබ පිදුම් ලබන්නට සුදුසු අයව සිට, ඉන්පසුව වඳින්නන් බවට පත් විය; ඔබ අපවිත්‍ර වූවා. එබැවින් ඔබ රාවණ මගින් පරාජය කරනු ලැබුවා. ඔබ, ඔහුගේ පඹයෙකු, මෙතරම් කාලයක් පිළිස්සුවේ, ඔහු ඔබගේ සතුරා නිසාය. කෙසේවෙතත්, ඔබ මෙය දැන සිටියේ නැත. පියා දැන් විස්තර කරන්නේ : ඔබ අපවිත්‍ර වුණේ රාවණ නිසාය. මෙම අවගුණ වලට මායා යැයි කියයි. මායා පරාජය කරන්නන්, ලෝකය ජයගනී. රාවණ ඔබගේ පැරණිතම සතුරාය. ඔබ දැන් ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් මෙම අවගුණ පහ ජයගනී. පියා පැමිණ ඇත්තේ ඔබව ජයග්‍රහණය කරවීමටයි. මෙය ක්‍රීඩාවකි. මායාට පරාජය වන අය, සෑම දෙයක්ම නැති කරගන්නා අතර, මායාට එරෙහිව ජය ලබන අය, සෑම දෙයක්ම ජයගනී. ඔබට ජය ලබාගන්නට මඟ පාදන්නේ පරමාත්ම පියා පමණයි. මේ නිසයි ඔහුට සර්ව බලධාරීයා යැයි කියන්නේ. රාවණ ද එයට අඩු නැති සර්ව බලධාරියෙකි, නමුත් ඔහු දුක ලබා දෙන නිසා, ඔහුව වර්ණනා කරන්නේ නැත. රාවණ ඉතාමත්ම බලගතුයි. ඔහු ඔබගේ රාජධානිය උදුරා ගනී. ඔබ එය නැති කරගන්නේ කෙසේද, එමෙන්ම ඔබ එය නැවතත් දිනා ගන්නේ කෙසේද කියා ඔබට දැන් වැටහෙයි. ජීවාත්මයන්ටත් සාමය අවශ්‍යයි: “මට ආපසු මගේ නිවසට යෑමට අවශ්‍යයි.” බැතිමතුන් දෙවියන්ව සිහිකරන නමුත්, ඔවුන්ගේ බුද්ධිය ගලක් මෙන් නිසා, දෙවියන් පියා බවත්, එබැවින් ඔවුන් නිසැකයෙන්ම ඔහුගෙන් දායාදයක් ලැබිය යුතු බව, ඔවුන්ට වැටහෙන්නේ නැත. ඔබට එය අනිවාර්යෙන්ම ලැබෙන නමුත්, ඔබට එය ලැබෙන්නේ කවදාද, හෝ ඉන්පසුව ඔබට එය නැති වෙන්නේ කෙසේද කියා ඔබ නොදනී. පියා පවසන්නේ : මා මෙම බ්‍රහ්මාගේ සිරුර තුළ අසුන් ගෙන, ඔබට එය විස්තර කර දෙන්නෙමි. මටද භෞතික අවයව අවශ්‍යයි. මට මගේම භෞතික අවයව නැත. සූක‍්ෂම කලාපයේද සංවේදනා දනවන ඉන්ද්‍රියන් තිබේ. ඔබ නිහඬ චිත්‍රපටයකදී මෙන්, ඇවිදිමින් එහෙ මෙහෙ ගමන් කරයි. එම චිත්‍රපටි සහ කතානාද චිත්‍රපටි මතු වී තිබෙන බැවින්, පියාට විස්තර කරදීමට පහසු වී ඇත. ඔවුන්ට භෞතික බලය තිබෙන අතර, ඔබට යෝගා බලය තිබේ. එම සහෝදරයින් දෙදෙනා (රුසියාව සහ අමරිකාව) එකට එකතු වන්නේ නම්, ඔවුන්ට ලෝකයම පාලනය කිරීමට හැකි වෙයි. කෙසේවෙතත්, වර්තමානයේදී ඔවුන් භේද වී සිටියි. ඔය දරුවන්ට නිහැඬියාවේ පිවිතුරු අහංකාරකම තිබිය යුතුයි. ඔබ නිහැඬියාව සහ ‘මන්මනභව’ හි පදනම තුළින් ලෝකය ජයගනී. ඔවුන්ට විද්‍යාවේ අහංකාරකම තිබෙන අතර, ඔබට නිහැඬියාවේ අහංකාරකම තිබේ, එනම්, මෙහිදී තමන් ජීවාත්මයක් බව සළකා පරමාත්ම පියාව සිහි කරයි. ඔබ සතෝප්‍රධාන් වන්නේ මෙම සිහිපත් කිරීම තුළිනි. බාබා ඔබට ඉතාමත්ම පහසු ක්‍රමයක් පෙන්වා දෙයි. ශිව බාබා, ඔය දරුවන්ට, ඔබගේ දිව්‍යලෝකයේ උරුමය නැවත වතාවක් ලබා දීමට පැමිණ ඇති බව ඔබ දන්නවා. ඔබට කලි යුගයේ කුමන බන්දන තිබුණත්, පියා පවසන්නේ : ඒවා අමතක කර දමන්න! ඔබගේ අවගුණත් මට දන් දෙන්න! ඔබ බොහෝ කාලයක් ‘මගේ, මගේ’ කියමින් සිටියේය: ‘මගේ සැමියා, මගේ මේක, මගේ අරක’ ඒ සෑම දෙයක්ම අමතක කරන්න. සෑම දෙයක්ම දකින අතර, කිසි දේකට බැඳිමක් ඇති කර නොගන්න. බාබා මෙම දේවල් විස්තර කරන්නේ ඔය දරුවන්ට පමණයි. පියාව නොහඳුනන දරුවන්ට මෙම භාෂාව තේරුම් ගැනීමට නොහැක. පියා පැමිණ සාමාන්‍ය මනුෂ්‍යයින්ව දේවතාවන් බවට පරිවර්ථනය කරයි. දේවතාවන් සිටින්නේ ස්වර්ණමය යුගයේය. කලි යුගයේ ඇත්තේ සාමාන්‍ය මනුෂ්‍යයින්ය. දැනුත්, තවමත් දේවතාවන්ගේ සලකුණු තිබේ; ප්‍රතිමා තිබේ. ඔබ මට ‘පාරිශුද්ධකරුවා’ යැයි අමතයි. මා පහත් තත්ත්වයට පත් වන්නේ නැත. ඔබ කියන්නේ අප පිවිතුරුව සිටියා, ඉන්පසුව අප පහත් සහ අපවිත්‍ර වූවා. අපට අපගේ නිවහනට ආපසු යෑම සඳහා, ඔබ දැන් පැමිණ අපව පිවිතුරු කළ යුතුයි. මෙය ආධ්‍යාත්මික දැනුමයි. මේවා දැනුමේ අවිනාශි මිණි මුතුයි. මා දැන් ඔබට මෙම දැනුම උගන්වා, ඔබට නිර්මාණයේ මුල, මැද සහ අවසානය පිළිබඳ රහස් කියා දෙමි. මෙය දැන් පැරණි ලොවයි. ඔබගේ මිතුරන්ට, නෑදෑයින්ට සහ ඔබගේම ශරීරයට ඇති සියලුම බැඳීම් ඉවත් කර ගන්න. ඔය දරුවන් දැන් සෑම දෙයක්ම පියාට දෙයි. එවිට පියා ඔබට උපත් 21 කට දිව්‍යලෝකයේ ආධිපත්‍යය ලබා දෙයි. දීම සහ ගැනීම සිදුවනවා, එසේ නේද? පියා උපත් 21 කට රාජධානියේ ඔබගේ භාග්‍යය ඔබට ලබා දෙයි. මිනිසුන් උපත් 21 ක්, පරම්පරා 21 ක් ගැන කතා කරයි. ඉන් කියැවෙන්නේ උපත් 21කට ඔබට පූර්ණ ආයුෂ කාල තිබෙන බවයි. එහිදී, මධ්‍ය කාලීන වයසෙදී ඔබ ශරීර අත් නොහරියි; අකල් මරණ නොමැත. ඔබ අමරණීය වනවා මෙන්ම, අමරණීය දේශයේ අධිපතියන් බවට පත් වෙයි. ඔබට එහිදී මරණය එන්නේම නැත. ඔබ දැන් මිය යාමට උත්සාහ දරණවා. පියා පවසන්නේ : ඔබගේම සිරුර ඇතුළුව සියලුම ශාරීරික නෑදෑකම් අත්හැර, ඔබගේ සියලුම සම්බන්ධතාවයන් ඒකායන පියා සමඟ පමණක් පවත්වා ගන්න. ඔබ දැන් සතුටෙහි නෑ-සබඳතා තුළට යා යුතුයි. ඔබ, අඛණ්ඩව දුක් බන්දන අමතක කර දමයි. නිවසේ ඔබගේ පවුලේ අය සමඟ වාසය කරන අතර, ඔබ පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. පියා පවසන්නේ : නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න, ඒ සමඟම දිව්‍යමය ගුණධර්ම ද ධාරණය කරගන්න. මෙම දේවතාවන් මෙන් වන්න. මෙය ඔබගේ අරමුණ සහ ඉලක්කයයි. ලක‍්ෂ්මි සහ නාරායන දිව්‍යලෝකයේ අධිපතියන් විය. ඔවුන් එම රාජධානිය හිමි කර ගත්තේ කෙසේද? ඉන්පසුව ඔවුන් ගියේ කොහාටද? කිසිවෙකු මෙය නොදනී. ඔය දරුවන් දැන් මෙම දිව්‍යමය ගුණධර්ම ධාරණය කළ යුතුයි. කිසිම කෙනෙකුට කිසිම විටෙක දුක් නොදෙන්න. පියා, දුක් නැති කරන්නා මෙන්ම සතුට පිරිනමන්නාය. එබැවින් ඔබ මෙම සතුටේ මාර්ගය සෑම කෙනෙකුටම පෙන්විය යුතුයි, එනම්, ඔබ අන්ධයින්ට සැරයටි විය යුතුයි. ඔබද අන්ධව සිටියේය; ඔබ අන්ධයින්ගේ දරුවන් විය. පියා දැන් ඔබට දැනුමේ තෙවැනි ඇස ලබා දී ඇත. පියා ඔහුගේ චරිත කොටස රඟපාන්නේ කෙසේද කියා ඔබ දැන් දන්නවා. පියා දැන් ඔබට උගන්වන සෑම දෙයක්ම පසුව අතුරුදහන් වෙයි. දේවතාවන්ට මෙම දැනුම නොමැත. නිර්මාණකරු සහ නිර්මාණය පිළිබඳ දැනුම දන්නේ, ඔය බ්‍රහ්මණයින්, බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් දරුවන් පමණයි. වෙන කිසිවෙකුට මෙය දැනගත නොහැක. ලක‍්ෂ්මි සහ නාරායනට මෙම දැනුම තිබුණේ නම්, එයින් අදහස් වන්නේ, එය කාලයේ මුල්ම ආරම්භයේ සිටම පැවත එන බවයි. එහි සිටින සෑම කෙනෙක්ම විමුක්ති තත්ත්වයේ සිටින බැවින්, එහිදි දැනුමට අවශ්‍යතාවයක් නොමැත. ඔබ දැන් සෑම දෙයක්ම පියාට දන් දෙන අතර, ඉන්පසුව පියා ඔබට උපත් 21කට සෑම දෙයක්ම ලබා දෙයි. මෙවන් දානයක් කිසිවෙකුට දිය නොහැක. ඔබ සෑම දෙයක්ම දිය යුතු බව ඔබ දන්නවා. බාබා, මේ සෑම දෙයක්ම අයත් වන්නේ ඔබටයි. ඔබ අපට සියලු දේම වෙයි. ඔබ මව මෙන්ම පියායි. ඔහු ඔහුගේ චරිත කොටස රඟපායි. ඔහු දරුවන් වන අපව, දරුකමට හදාගෙන, ඉන්පසුව ඔහුම අපට උගන්වයි. පසුව, ඔහුම ගුරු වී, අපව ආපසු නිවසට රැගෙන යයි. ඔහු පවසන්නේ : මා සිහි කරන්න, එවිට ඔබ පිවිතුරු වෙයි. එවිට මම, ඔබව මා සමඟ ආපසු රැගෙන යමි. නිර්මාණය කර ඇති මෙම යාග ගින්න, ශිවාගේ දැනුමේ යාග ගින්නයි. ඔබ, මෙයට ඔබගේ සිරුර, මනස සහ ධනය පූජා කරයි. ඔබ සෑම දෙයක්ම සතුටින් කැප කරයි. ඉතිරි වන්නේ ජීවාත්මය පමණයි. බාබා, අප දැන් ඔබගේ ශ්‍රීමත් පමණක් අනුගමනය කරන්නෙමු. පියා පවසන්නේ : ඔබගේ පවුලේ අය සමඟ නිවසේ වාසය කරන අතරම, ඔබ පිවිතුරු විය යුතුයි. කෙනෙක් වයස අවු 60ට පත් වූ විට, විශ්‍රාමික තත්ත්වයට යෑමට සූදානම් වෙයි. කෙසේවෙතත්, ඔහු ආපසු නිවහනට යෑමට සූදානම් වන්නේ නැත. ඔබට දැන් සත්ගුරුගෙන් මන්තරයක් ලැබෙයි: මන්මනභව! පරමාත්ම දෙවියන් පවසයි : මා සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වෙයි. සෑම කෙනෙකුටම කියන්න: “එය දැන් ඔබ සැමගේම විශ්‍රාමික වයසයි. ශිව බාබා සිහිපත් කරන්න. ඔබ දැන් ඔබගේ නිවහනට ආපසු යා යුතුයි.” අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ බුද්ධියෙන් ඔබගේ සියලුම කලි යුගයේ කර්ම බන්දන ඉවත් කිරීමෙන් සහ අවගුණ පහ දන් දීමෙන්, ජීවාත්මය සතෝප්‍රධාන් කරන්න. නිහැඬියාවේ පිවිතුරු අහංකාරකම පවත්වාගන්න.

2. රුද්‍රාගේ මෙම යාග ගින්නට ඔබගේ සිරුර, මනස සහ ධනය සතුටින් පූජා කිරීමෙන්, ඒවා වටිනා අන්දමකින් භාවිත කරන්න. මෙම වර්තමාන කාලයේදී සෑම දෙයක්ම පියාට දී, උපත් 21කට ඔබගේ රාජධානිය පියාගෙන් හිමි කරගන්න.

වරදානය:
ඔබ ආධිපත්‍යයේ ඕනෑම හෝඩුවාවක් අතහැර ආත්ම ගෞරවය ඇති පුණ්‍ය ජීවාත්මයක් වේවා.

ආත්ම ගෞරවය ඇති දරුවන් සෑම කෙනෙකුටම ගෞරවය දෙන්නන් වේ. දායාද කරන්නා යනු දයානුකම්පිත වන අතර කිසිදු ජීවාත්මයක් කෙරෙහි අධිපතිකම පිළිබඳ අංශු මාත්‍රයක්වත් නොසිතන අයෙකි. "ඇයි මේ වගේ?" “ඔබ මෙය නොකළ යුතුව තිබුණා. "එය එසේ නොවිය යුතුය." "දැනුම මෙහෙම කියනවද?" මේ සියල්ල සියුම් ස්වරූපයෙන් ආධිපත්‍යයේ සලකුණු වේ. කෙසේවෙතත්, ආත්ම ගෞරවය ඇති පුණ්‍ය ජීවාත්මයන් වැටී සිටින අයව නඟා සිටුවීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි වනු ඇත. යමෙක් තමාගේ ක්‍රියාවන්හි විපාක විඳිමින් සිටින බව හෝ යමක් කරන කෙනෙකුට එහි ප්‍රතිඵලය නියත වශයෙන්ම ලැබෙනු ඇති බවත් ඔහු වැටිය යුතු බවත් ඔවුන් කිසි විටෙකත් නොසිතනු ඇත. ඔබට එවැනි සිතුවිලි ඇති විය නොහැක.

පාඨය:
තෘප්තිමත් භාවයේ සහ සතුටේ විශේෂතා ඔබට පියාසර කිරීමේ අවධිය අත්විඳීමට ඉඩ සලසයි.

අව්‍යක්ත සංඥාව: සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදා ගන්න.

සත්‍යයේ බලයේ සලකුණ වන්නේ බිය නොමැතිකමයි. මෙවන් කියමනකි: “සත්‍යය ඇති තැන, ජීවාත්මය නර්ථනය කරයි.” - එනම්, සත්‍යයේ බලය ඇති අය නිරතුරුවම සැහැල්ලු සහ නිර්භීත බැවින් ඔවුන් නොකඩවා සතුටින් නර්ථනය කරයි. ඔබගේ සංස්කාර සහ සිතිවිලි දුර්වල වන විට, එම දුර්වලතාවය, ඔබගේ මනසේ කැලඹිල්ලක් ඇති කරයි. එබැවින් ප්‍රථමයෙන්ම රුද්‍රාගේ අවිනාශී යාගයට ඔබගේ සූක්ෂම දුර්වලතා බිලි දෙන්න.